Due-to-the-strike-schools-hospitals-harbors-electricity-water-and-mail-are-all-down

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මේ වනවිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධන, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති දියත් කළ වැඩ වර්ජනයේ දහවල් වනවිට අලුත්ම තත්වය සලකා බැලීමේදී පාසල් , රෝහල්, තැපැල්, ජලය හා විදුලිය මුළුමනින්ම පාහේ බිඳ වැටී ඇත.



වරායේද කොටසක් පමණක් සේවයට වාර්තා කර ඇති අතර වරායේ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට රජය නාවික හමුදාව කැඳවා තිබූ අතර මේ හේතුවෙන් වෘත්තීය සමිති සේවකයින් සමග ගැටුම් කාරී තත්වයක්ද වරායෙන් වාර්තා විය.

බැංකු සේවකයින්ගෙන් අඩක් පමණ සේවයට වාර්තා කර ඇති අතර රජය වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සපයන තොරතුරු අනුව ලංකා බැංකුව හා මහජන බැංකුව වැඩ කරයි. නමුත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුලු අනෙක් රජයේ බැංකු ගැන සදහනක් නැත. නමුත් වෘත්තිය සමිති පවසන්නේ රජය නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන වැරදි බවත් බැංකු ආයතන අඩකට වඩා අද සේවය නොකළ බවයි.

දිවයිනේ සෑම රජයේ රෝහලකම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර රෝගීන් රැසක් අපහසුතාවයට පත්ව ඇත.
වර්ජනයට වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, රසායනාගාර සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදින් මෙන්ම රෝහල් කණිෂ්ඨ සේවකයින් එක්ව සිටි බව වාර්තා විය.



දිවයිනේ සියලුම රජයේ පාසල්වල අද දිනයේ වර්ජනය ක්‍රියාත්මක වූ අතර සිසුන්ගේ පැමිණීමද අඩුවූවාසේම ඔවුන්ට ආපසු හැරී යාමට සිදුවිය.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටරවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රැසක් මේ වනවිට වර්ජනය ආරම්භ කර තිබුණ නමුත් ජනපති මාධ්‍ය අංශය පවසන්නේ ප්‍රමාණවත් කාර්යාලයීය දුම්රිය ධාවනයක් සිදුවූ බවයි. දුම්රියේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් යොදවා තිබූ බවට වාර්තා විය.
අද දින ලංගම බස් රථ මුළුමනින්ම පාහේ ධාවනය වූවද ඇතැම් ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය අඩුවක් හෝ ධාවනය නොවන බවට වාර්තා පළ විය.
කෙසේ වෙතත් ගැමුණු විජේරත්න පවසා තිබුනේ වෙනදාටත් වඩා අද බස් යොදන බවත් බදු වෙනුවෙන් වර්ජනය අසාධාරණ බවත්ය.