බල්ලෙකු සපා කෑ විට බොහෝ විට ගතෙහි හට ගන්නේ සුළු තුවාලයකි. එහෙත් බොහෝ දෙනෙකුගේ සිතෙහි හටගන්නා තුවාලය නම් සුළු පටු එකක් නොවේ. මහත් බියකි.
බල්ලා හපා කෑවේ පිස්සුවෙන්ද?ඌට පිස්සු බලු රෝගය හෙවත් ජල භීතිකාවද?මටත් පිස්සු බලු රෝගය හැදේවිද? මා මැරේවිද?
මගේ කකුල බල්ලෙක් හපා කෑවා. තුවාලය ලොකු එකක් නෙවි. දත් පාරවල් දෙකක් වැදිල තියෙනවා. කළ යුතු ප්‍රථමාධාරය පහදා දෙන්න ?

පළමුවෙන් තුවාලයට සජිකල් ස්පිරිට් (ශල්‍ය ප්‍රීතු) වැනි මධ්‍යසාර අඩංගු විෂබීජ නාශකයක් දමන්න. සජිකල් ස්පිරිට් නැත්නම් ඩිකොලොන්, ඒත් නැත්නම් අරක්කු ටිකක් හෝ කසිප්පු ටිකක් වුණත් කමක් නෑ වෙලාවෙ හැටියට. ඒවායේ අඩංගු ඊතයිල් මධ්‍යසාරය නිසා පටස් ගාලා ජලභීතිකා වෛරසය මැරෙනවා. විනාඩියකට පමණ පසුව තුවාලය හොඳින් සබන් දමා සෝදන්න. පිරිසිදු රෙදි කැබැල්ලක් තබා තුවාලය වෙලන්න. වෛද්‍යවරයා ගාවට යා යුත්තේ ඊට පසුවයි.

ජලභීතිකා රෝගය හැදෙන්නේ කොහොමද?

ජලභීතිකාව (Hydrophobia) පිස්සු බලු රෝගය හෙවත් රේබීස් (Rabies) හදන රෝග කාරකය වෛරසයක්. නම රැම්ඩො වෛරස් (Rabdo Virus). ශ්‍රී ලංකාවේ ජල භීතිකා රෝගීන් 90% කට පමණ වෛරසය ඇතුළු වී තිබෙන්නේ එම රෝගය වැළඳුණ බල්ලන් සපා කෑමෙනයි. රෝගයට ලක් වූ බල්ලාගේ කෙළ වල රැබ්ඩො වෙරසය තිබෙනවා. ඉතින් සපා කන විට දත් පහර සමග රැබ්ඩො වෛරසය අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවනි. වෙරසය පළමුවෙන් මාංශ පේශි තුළ වැඩෙනවා. ඊට පසුව ස්නායු වලට ඇතුළු වී ස්නායු දිගේ මොළයට ගමන් කරනවා. ස්නායු සෛල තුළ වයිරසය වැඩෙන්නට පටන් ගත් පසුව ඔහු මොන ක්‍රමයෙන්වත් සුව කරන්න නම් බැහැ. රෝග ලක්ෂණ මතු වී දින 7 ක් ඇතුළත මරණය නියතයි. ඒ සත්‍යය මිනිසාට පමණක් නොව සතුන්ටද පොදුයි.



මගේ කකුල කෑවේ පිස්සු බල්ලෙක්ද නිකං බල්ලෙක්ද කියල දැන ගන්නෙ කොහොමද?

බල්ලාට පිස්සු බලු රෝගය හෙවත් ජලභීතිකා රෝග ලක්ෂණ මතු වීමට දින හයකට පෙර සිටම උගේ කෙළවල රැඩො වෙරස් විෂබීජය දැක ගන්නට පුළුවනි. ඒ නිසා බල්ලාට ජලභීතිකා රෝග ලක්ෂණ (වියරුවෙන් මෙන් හැසිරීම, කටින් කෙළ වැගිරීම, ආහාර සහ ජලය ගැනීමේ අපහසුව) ඇති වීමට දින 6 කට පෙර සපා කෑමෙන් වුවත් රෝග කාරක විෂ බීජය අප සිරුර තුළට ඇතුළු විය හැකියි. ඒ නිසා කළ යුතු එකම දෙය නම් සපා කෑ බල්ලා (හෝ බළලා) දින 10 ක් ආරක්ෂා සහිතව කිසිදු හිරිහැරයක් හෝ පහරදීමක් නොකර හොඳින් ආහාර පාන ආදිය දී කූඩුවක දමා හෝ බැඳ තබාගෙන හෝ නිරික්ෂණය කිරීමයි. සතාට රෝග ලක්ෂණ මතුවී දින 10 ක් ඇතුළත මිය ගියොත් ඌට පිස්සු බලු රෝගය සෑදුණ බවට නිගමනය කරන්නට පුළුවනි. බල්ලා මිය ගිය පසු උගේ මොළය පරික්ෂණාගාරයේ පරික්ෂා කිරිමෙන්ද රෝග විනිශ්චය කළ හැකියි.

මගේ කකුල කෑවේ අසල්වැසි නිවසක ඇති කරන බල්ලෙක්. දඩාවතේ යන බල්ලෙක් නොවේ. ඌට පොඩි කාලෙ ඇන්ටි රේබීස් එන්නත (Anti Rabies Vaccination - ARV) ලබා දුන්නලු. ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේද?

ජල භීතිකා එන්නත බල්ලාට අවුරුදු දෙකකට වරක් ලබා දිය යුතුයි. එවිටයි ඌට ජල භීතිකාවට විරුද්ධව ප්‍රතිශක්තිය ඇති වී රෝගයෙන් වැළකී සිටීමට හැකියාව ඇති වෙන්නෙ. බල්ලා ප්‍රතිශක්තිකරණය කොට අවුරුදු 2 ක් ඇතුළත සපා කෑවට එතරම් බිය විය යුතු නැහැ. එහෙත් අවුරුදු දෙකක් ගතවී ඇත්නම් බල්ලාට ජල භීතිකාව නොවැළදේවී කියා අපට ස්ථිරවම කියන්න බැහැ. ඒ නිසා ඌ දින 10ක් හොදින් නිරීක්ෂණය කිරීමයි නුවණට හුරු.

හොඳයි මගේ කකුල කෑවෙ පාරෙ දඩාවතේ යන බල්ලෙක් නම් මොකද කරන්නේ?

දඩාවතේ යන බල්ල හපා කෑවට පස්සෙ ඌව අල්ලල බැඳල හෝ කූඩු කරල කන්න බොන්න දීල දින 10 ක් නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ප්‍රශ්නය විසදෙනවා. එහෙත් දඩාවත්තේ යන බල්ලෙක් අල්ලන එක ලෙහෙසි වැඩක් නොවෙයි. අනික ඒක භයානකයි. ඌ අල්ලන්න යන අයත් හපා කන්න පුළුවනි නේද? දඩාවතේ යන බල්ලා පැටියෙක් (බලු කුක්කෙක්) නම් ඌ කුඩුවක දාල නිරික්ෂණය කරන එක එතරම් අපහසුවක් නැහැ.

බල්ලා ඇල්ලීම අපහසු නම් කළ හැකි දෙයකි, ඌට පහර දී හෝ වෙඩි තබා මරණයට පත් කිරීම. ඉන්පසු උගේ හිස වෙන් කොට අයිස් කැට සහ ලී කුඩු සහිත ටින් එකක හෝ පෙට්ටියක බහා කොළඹ බොරැල්ලේ ලේඩි රිජ්වේ ළමා රෝහල අසල බේස්ලයින් පාරේ පිහිටි MRI හෙවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට ගෙන ගොස් භාරදීම. එවිට ඔවුන් බල්ලාගේ මොළය පරික්ෂා කර බලා ඌට ජලභීත්තිකාව වැළඳී තිබේ ද නැද්ද යන්න වාර්තා කරනවා. මේ සඳහා ඔබ ප්‍රදේශයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) මහතාගේ සේවය ලබාගැනීමට පුළුවනි.



හොදයි අපි මෙහෙම හිතමු. බල්ලා අල්ලාගන්න බැරිවුණා. වෙඩි තියන්නත් බැරි වුණා. ඌ පැනල ගියා. දැන් මොකද කරන්නේ?

පොතේ හැටියට නම් හපා කාල පැනල ගිය හැම බල්ලෙක ම සලකන්න වෙන්නේ පිස්සු බල්ලෙක් හැටියටයි. පිස්සු බලු රෝගය හෙවත් ජලභීතිකාව මාරාන්තික රෝගයක්නේ. ඉතින් ඌට පිස්සු නැතිව ඇති කියල සැකෙක්ට වාසිය තියල වැඩ කරන එක නුවණට හුරු නැහැ නේ. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව ඔබ ඇටි බිස් වැක්සීනය (ARV) ලබා ගැනීමයි නුවණට හුරු.

මම දන්නව ඔය ජලභීතිකාව වළක්වන්න ගහන ප්‍රතිශක්තිකරණ ARV නික්ෂේපණය ගැන. අපොයි ඒක හරි අමාරුයිනෙ. බුරිය වටේ ඉන්ජෙක්ෂන් 14ක් ගහන්න එපායැ. ඕක ඉවසන් ඉන්න පුළුවන් කාටද?

ඒ ඉස්සර. දැන් ඊට වඩා දියුණු අතුරු ආබාධ අඩු ප්‍රතිශක්තිකරණ වැක්සීන වර්ග කීපයක්ම නිපදවල තියෙනව. ඒවා පෙකණිය (බුරිය) වටේ විදින්න අවශ්‍ය නැහැ. අතට හෝ කකුලට විදින්න පුළුවනි. දින 28 ක් ඇතුළත එන්නත් 5 ක් පමණයි (මෙය එන්නත් වර්ගය අනුව වෙනස් වේ.) නික්ෂේණය කරන්න වෙන්නෙ. ඒ ගැන බිය විය යුතු නැහැ. වැඩි විස්තර ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ රෝහලෙන් ලබාගන්නට පුළුවනි.
 
මගේ දරුවො බල්ලන්ට හරි ආදරෙයි. බලු පැටව් දැක්ක ගමන් උන්ව වඩා ගන්නව. බල්ලන් එක්ක සෙල්ලමට යනව. ඒ අයට කල් තියාම එන්නත් දීල ප්‍රතිශක්තිකරණය කරල තියන්න බැරිද?

ඇයි බැරි. පුළුවනි. පශු වෛද්‍යවරු සහ සේවකයන්ට එය ලබා ගැනීම අනිවාර්යයි. කැමති නම් ඔබේ දරුවන්ට දෙන්නත් පුළුවන්.

ජලභීතිකාව හැදුණට සුව කරන්න පුළුවන් වෙදුන් අපේ රටේ ඉන්නවා කියන්නේ ඇත්තද?

ජලභීතිකාව වැළඳුනු කිසිම රෝගියෙක් සුව කළ බවට අපේ රටේ මෙතෙක් වෛද්‍ය ලිපි හෝ සඟරාවලට වාර්තා කර නැහැ. එය 100% ක් ම මාරාන්තික රෝගයක් ලෙසයි නවීන වෛද්‍ය ලේඛනවල සඳහන් වෙන්නෙ. හැදුණොත් සතියක් තුළ මිය යනවාමයි. ජලභීතිකාව සුව කළ හැකි බව අපේ වෙදුන්ට ඔප්පු කළ හැකි නම් ඔවුන්ට වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගත හැකි වෙනවා සිකුරුයි.

ජලභීතිකාව වැළඳුණ තැනැත්තෙකුට මතුවන රෝග ලක්ෂණ මොනවාද?

ජලභීතිකාව වැළඳුණ බල්ලෙකු, බළලෙකු, නරියෙකු, මුගටියෙකු වවුලෙකු හෝ හරකෙකු සපා කා දින 9 - 90 ත් අතර කාලයක් තුළ (කලාතුරකින් අවුරුද්දක් වුවද විය හැක) රෝග ලක්ෂණ මතු විය හැක. පළමුවෙන් උණ, තෙහෙට්ටුව හා හිසරදය ඇති වී දින 2 - 4 පමණ පවතී. පසුව ඔහුට ශබ්දය, එළිය, ශීතල සහ තද සුළග දැරිමේ හැකියාව නැතිව යයි. ශ්වසන වේගය වැඩි වී පේශි සංකෝචනය වීම සිදුවේ. රෝගියා අධික ලෙස බියට (මරණ බය) පත්වී කේන්තිය, සැර පරුෂ ගතිය සහ සාංකාව ඇති වේ. උගුරේ මාංශ පේෂී සංකෝචනය නිසා ජලය ගිලීමට හෝ කෙළ ගිලීමට නොහැකි වේ. කටින් කෙළ වැගිරේ. කොපි පොතක් ගෙන පවන් සැලූ විට ඔහු තිගැසේ . එමගින් ඔහුට රේඛීස් රෝගය වැලදී ඇති බව ස්ථිරවම දැනගත හැක. මෙම පරිකෂණය හඳුන්වන්නේ ෆෑන් ටෙස්ට් (Fan Tent) නමින්. රේබීස් රෝගයට වඩා සුදුසු නම ජලභීතිකාව නොව වායු භීතිකාව යයි මට සිතේ. රෝග ලක්ෂණ මතුවීමෙන් පසු බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ දින 2 ක් හෝ 3 ක්. කලාතුරකින් දින 5 - 6 ක් ජීවත් වේ. ජල භීතිකා රෝගීගෙ කෙළවල රැඩො වෛරසය දක්නට ලැබුණත් මිනිසාගෙන් තවත් මිනිසෙකුට බෝ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. (මෙතෙක් ලෝකයෙන් ම වාර්තා වී ඇත්තේ දෙදෙනෙක් පමණයි.)



ජල භීතිකාවෙන් පෙළෙන තැනැත්තෙකුට උපස්ථාන කරන අයට දිය හැකි උපදෙස් මොනවාද?

රෝගියා ඇල්ලුවාට කිසි වරදක් නැහැ. එහෙත් රෝගියාගේ කෙළ ඇගපතේ ගා ගැනීමෙන් හැකිතාක් දුරට වළකින්න. අතේ සහ ඇගේ තුවාල ඇති අය  උපස්ථානයට යන්න එපා. ඇඟ හොඳින් වැසෙන ඇඳුම් (අත් දිග කමිස, සරොම් හෝ දිග කලිසම්) ඇඳ අත්දකට අවැසුම් (ග්ලවුස්) සහ සපත්තු ඇඳ සිටීම අත්‍යාවශ්‍යයයි.  රෝගියා භාවිතා කළ භාජන, ඇඳුම් පැළඳුම් හොදින් සෝදා පිරිසිදු කරන්න. රෝගියාගේ කෙළ ඔබේ ඇගේ තුවාලයක තැවරුණා නම් හෝ රෝගියා ඔබ සපා කෑවානම් එම ස්ථානයට ප්‍රතිශක්ති සීරම විදීම සුදුසුයි.

බල්ලන්ගෙන් ජල භීතිකාව මිනිසාට බෝවීම වැළැක්වීම සඳහා ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේද?

බල්ලන් සහ බළලුන් වැනි සුරතල් සතුන් ඇති කිරිම අප කාගේත් මානසික සෞඛ්‍යයට හිතකරය. එහෙත් උන්ගෙන් ඇතිවිය හැකි අනතුරු සහ ආබාධයන් වලක්වාගත යුතුය. එබැවින් ගෙදර සුරතලයට ඇති කරන බල්ලන් පශු වෛද්‍ය කාර්යාලයට හෝ පශු වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් කලට වේලාවට එන්නත් කරවා ගන්න.  ඔබේ නිවසේ සුරතලයට ඇති කරන බැල්ලියට පැටව් අනවශ්‍ය යයි සිතන්නේ නම් ඇයව සැත්කමකට භාජනය කර වන්ධ්‍යාකරණය කරන්න. නො එසේ නම් පවුල් සැලසුම් නික්ෂේපණ (ඩිපෝ ප්‍රොවේරා) කාන්තාවන්ට දෙන ප්‍රමාණයෙන් 1/2 ක් මාස 6 කට වරක්) ලබා දෙන්න. බල්ලන්ටද පවුල් සැලසුම් සුදුසුය.

දඩාවත්තේ යන බල්ලන් විනාශ කිරීමට ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ සේවක මහතුන්ට උදව් කරන්න.

අපේ ගෙදර ඉන්න බල්ලට ජලභීතිකා ප්‍රතිශක්තිය (ARV) ලබා  දීලයි තියෙන්නෙ. ඒ වුණත් ඌ සපා කෑ විට මගේ පෞද්ගලික වෛද්‍යවරයා එන්නතක් ලබා දුන්නා ඒ මොකක්ද?

ඒ පිටගැස්ම එන්නතයි (TetanusToxoid). බල්ලන් මළ පහ සහ පොළවේ ඇති නොයෙකුත් අපිරිසිදු ද්‍රව්‍යවලට කට ගහනවන්නේ. ඉතින් උගේ කටට පිට ගැස්ම විෂ බීජය ලෙහෙසියෙන් ඇතුළු වෙන්න පුළුවනි. ඒකයි බල්ලකු සපා කෑ විට පිටගැස්ම එන්නතත් ලබා දෙන්නේ..

(වෛද්‍ය ආරියසේන යූ ගමගේ ලියූ ලිපියක උපුටනයකි)