It-is-planned-to-buy-an-MRI-machine-made-13-years-ago-for-334-m

රුපියල් මිලියන 334ක මුදලක් වියදම් කර 2010 වසරේ නිෂ්පාදිත එම්.ආර්. අයි. ස්කෑන් යන්ත්‍රයක් මහරගම අපේක්‍ෂා රෝහලට මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සඳහන්  කරයි. මෙම රෝහලට හා හම්බන්තොට රෝහලට එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය බැගින් මිලදී ගැනීම සඳහා 2018 වසරේදී ටෙන්ඩර් කැඳවූ බවත්, මේ අනුව අදාළ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා සමාගම් තෝරගැනීම සිදුකළ බවත් එම සංගමය පෙන්වා දෙයි. හම්බන්තොට රෝහලට අදාළ යන්ත්‍රය මිලදී ගැනීමට යාමේදී ඇති වූ ගැටලුවක් මත එම ටෙන්ඩරය අවලංගු කළ බවත්, අපේක්‍ෂා රෝහලට අදාළ යන්ත්‍රය එම  සංගමය සඳහන් කරයි.



එහෙත් 2018 වසරේ සිදුකළ ටෙන්ඩර කැඳවීමට අනුව කඩිමුඩියේ මෙම යන්ත්‍රය මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ගෙවීගිය වසර 13 තුළදී නවීන තාක්‍ෂණයෙන් යුත් එම්.ආර්.අයි. යන්ත්‍ර වෙළෙඳ පොළට පැමිණි තිබෙන බැව්න් මෙම ටෙන්ඩරය වහාම අවලංගු කළ යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි. මෙවැනි යන්ත්‍රයක් නිෂ්පාදනය කළ පසු අදාළ සමාගම් අමතර කොටස් සැපයීම සිදුකරනු ලබන්නේ, වසර 10ත් 15ත් අතර කාලයක් තුළදී පමණක් බවත්, මේ අනුව මෙම යන්ත්‍රය මිලදී ගැනීමට  කටයුතු කළහොත් ඉදිරියේදී අමතර කොටස් නොමැතිවීමේ ගැටලුවකට මුහුණදීමටද සිදුවන බවත් එම සංගමය පවසයි.



ටෙන්ඩර කැඳවන අවස්ථාවේදී ගෙවීගිය වසර 05ක් තුළ නිෂ්පාදිත යන්ත්‍ර මිලදී ගැනීම සාමාන්‍යයෙන් සිදුවන බවත්, එහෙත් ගෙවීගිය කාලයේදී ඊට වඩා වැඩි නිෂ්පාදිත කාලයක් සහිත විවිධ පරීක්‍ෂණ යන්ත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙන බවත් එම සංගමය පවසා සිටියි. මේ ආකාරයට මිලදී ගත් යන්ත්‍රවලින් යම් ප්‍රමාණයක් කාර්මික දෝෂවලට ලක් වී තිබෙන බවත්, එහෙත් සමහර යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට අමතර කොටස් නොමැති බවත් එම සංගමය සඳහන් කරයි.
එච්.අයි. තුෂාර