Punishment-by-nature-woman

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ගරුසරුවක් නොදැක්වීමට ගොස් කොන්දත් කඩාගෙන හැංගී සිටීමට සිදුවූ කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. ගමේ කසිප්පු  අලෙවි කළේ ඇයය. මේ නිසා ගමේ පවුල් අතර සන්ඩු සරුවල් නිතර ඇතිවිය. පවුලේ දෙන්නා දෙමහල්ලා අතර ද සන්ඩු සරුවල් අඩුවක් නොවීය.

ඒ ඇය අලෙවි කරන මත් වතුරින් සප්පායම් වන ගමේ අය මත්වී කරන විකාර වැඩ නිසාය. මේ පිළිබඳව ගමේ  පන්සලේ ලොකු හාමුදුරුවන් ඇයට අවවාද කළේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. ඒත් ඇය  නොවේ එය තඹයකටවත් මායිම් කළේ. මේ නිසාම හාමුදුරුවන් ද සිටියේ ඇය පිළිබඳව හොඳටෝම කලකිරීමෙනි. ගමේ ඇත්තන් සුගතියට ගැනීමට හාමුදුරුවන් දැරූ වෙහෙස මහන්සිය අපමණය.

එදා පුන්  පොහෝදා ගමේ ඇතිවූ මිනී මැරුමකට හේතු වුයේ ද බීමත් කමය. මේ නිසාම එදා රෑ පන්සලේ පැවති අටවිසි  බෝධි පූජා පින්කමේ දී හාමුදුරුවෝ ඇය  ගමට කරන විනය පිළිබඳව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ද දෝෂාරෝපණය කළෝය. මේ  සමගම ඇය හාමුදුරුවන් සමග ඇති කර ගත්තේ බද්ධ වෛරයකි. හාමුදුරුවන් ඉස්සරහට මුලිච්චි වන හැම අවස්ථාවකදීම මහා හයියෙන් කාරා කෙළ ගැසීම ද සිදු කරන්නීය. ඒ විතරක්ම නොවෙයි හාමුදුරුවන්  වඩිනා විට වාඩිවී සිටි කවුරුත් හුන් තැනින් නැගිට්ටත් ඇය එසේ  නොකළාය.



එදාත් හාමුදුරුවන් ඇය ඉදිරිපිටින් වැඩියේ ඇය උස බංකුවක වාඩිවී සිටියදීය. වාඩිවී  සිටියදීම සිය දෙපා  ඉහළට ඔසවා ගැනීමට උත්සාහ ගනිද්දී සමබරතාව බිඳී ඇය  බිම ඇද වැටුණාය. ඒ විතරක්ම නොවේ වැටීම නිසා ඇයගේ කොන්දට පත්තු බැදීමට ද  සිදුවිය. මේ සිදු වීමත් සමගම ඇයට එළියට බසින්නට ද  නොහැකි විය.
ගමේ කොල්ලන්ගේ කට කැඩෙන කතා අසා සිටින්නට බැරිව ඇය පාඩමක්ඉගෙන ගත්තාය.

එම්. සුසිල් ප්‍රියන්ත