Sri-Lankas-crucial-cricket-battle-with-the-Kiwis-starts-today

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (09දා) ආරම්භ වන අතර, වැස්සෙන් හෝ වෙනත් හේතුවක් හිංසාවෙන් බාධාවක් ඇති නොවන්න මෙම සටහන කියවග මොහොත වන විටත් මෙම තරගයේ දිවා ආහාර විවේකයද අවසන් වී තිබෙනු ඇත. අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැත්වෙන මෙම තරගාවලිය නවසීලන්තයටත් වඩා ශ්‍රී ලංකාවට වැදගත් තරගාවලියකි. ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකාවට, තවදුවරටත් එම බලාපොරොත්තුව රඳවාගත හැකිද යන්න තීරණය වන්නේ මෙම තරගයේ ප්‍රතිඵලය මතය.


ශ්‍රී ලංකාවට ලෝක කුසලාන දොරටුව විවර වීම

ඉන්දු - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය ඔස්ට්‍රේලියාව ජය ගැනීමත් සමග ඔවුන් මේ වන විට ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට සුදුසුකම් ලබා අවසන්ය. ඒ අනුව අවසන් සටනක බලාපොරොත්තුවක් ඇත්නම් ඉතිරිව ඇත්තේ, ශ්‍රී ලංකාව හා ඉන්දියාවට පමණි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එම අභියෝගය ජය ගැනීම ලෙහෙසි පහසු නොවේ.

ශ්‍රි ලංකාව අවසන් මහා තරඟයට දක්වා යාමට නම්  මෙම තරගාවලිය තරග 2-0ක් ලෙසින්ම ජයගත යුතු අතර, තරග 1-0ක් ලෙස ජය ගැනීම හෝ ප්‍රමාණවත් නොවේ.

එමෙන්ම එම අවස්ථාව උදාවීමට නම් අද (09දා) ආරම්භ වන ඉන්දු - ඔස්ට්‍රේලියා සිවුවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රතිඵලය දෙසද බලා සිටිය යුතු වෙයි. නවසීලන්තයට එරෙහිව තරග 2-0ක තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකාවට, ඉන්දියාවේ පරාජය හෝ එම තරගයෙන් ජය පරාජයෙන් තොර අවසානයක ප්‍රාර්ථනාවක්ද සිදුකළ යුතුව ඇත. එසේ නොමැතිව ඉන්දියාව එම තරගය ජය ගතහොත්, ශ්‍රී ලංකාව තරග 2-0ක තරගාවලි ජයක් ලැබුවද, එය ලෝක කුසලාන දොරටුව විවර වීමට හේතුවක් නොවනු ඇත.


ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් පිටිය

වසර 40කට (1983 – 2023) වැඩි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රිකට් වාර්තා අතර වැඩි ගෞරව අත්කරගෙන සිටින්නේ නවසීලන්තයයි. මේ දක්වා දෙරට අතර තරගාවලි 17ක් පවත්වා ඇති අතර, ඉන් නවසීලන්තය තරගාවලි 07ක්ම ජයගෙන ඇත. ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වී ඇත්තේ තරගාවලි 04ක් පමණක් වන අතර, තරගාවලි  06ක් ජය පරාජයෙන් තොවර අවසන් වී ඇත. තරග ලෙසින් ගත් විට 1983 වසරේ සිට මේ දක්වා තරග 36ක් පවත්වා ඇති අතර, ඉන් තරග 16කම ජය හිමිව ඇත්තේ නවසීලන්තයටයි. ශ්‍රී ලංකාව තරග 09ක් පමණක් ජය ගෙන ඇති අතර, තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

2009 වසරේ නවසීලන්ත කණ්ඩායම සිදුකළ ශ්‍රී ලංකා තරග සංචාරය තරග 2-0ක් ලෙස ජය ගැනීමෙන් පසු මේ දක්වා එකදු තරගාවලියක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇත.  එමෙන්ම 1995 වසරේදී සිදුකළ නවසීලන්ත තරග සංචාරය 1-0ක් ලෙස ජය ගැනීම හැරෙන්න මේ දක්වා ශ්‍රී ලංකාව එකදු ටෙස්ට් තරගාවලියක් හෝ නවසීලන්තයේදී ජයග්‍රහණය කර නොමැත. අවසන් වරට සිදුකළ නවසීලන්ත තරග සංචාර ත්‍රිත්වයම පරාජය වී ඇත. ශ්‍රී ලංකාව මේ දක්වා නවසීලන්තයේදී ටෙස්ට් තරග 19ක් ක්‍රීඩාකර ඇති අතර, ඉන් ඉතිහාසය පුරාවටම ජය ගෙන ඇත්තේ ටෙස්ට් තරග 02ක් පමණි. ශ්‍රී ලංකාව නවසීලන්තයේදී ටෙස්ට් තරගයක් අවසන් වරට ජය ගෙන ඇත්තේ 2006 වසරේදී වන අතර, එතැන් සිට මේ දක්වා ක්‍රීඩා කළ තරග 06ක් අතරින් තරග 05ක්ම පරාජය වී ඇත.




නවසීලන්තයටත් අභියෝගයක්

ටෙස්ට් ලෝක ශූරතා සමාරම්භක තරගාවලියේ (2019-21) ශූරයන් වූ නවසීලන්තයට එම දක්‍ෂතාව අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි වූ අතර, ඔවුන් මෙවර තරගාවලියෙන් (2021-23) දැනටමත් ඉවතට විසි වී අවසන්ය. මෙවර ලෝක ටෙස්ට් ශූරතාව (2021-23) තුළ නවසීලන්තය එකදු තරගාවලියක් හෝ ජය ගෙන නොමැත. ඉකුත් තරග වාරයේ තරග 16කට ක්‍රීඩා කර ඉන් තරග 10ක්ම ජය ගෙන තරග 04ක් පමණක් පරාජය වූ ඔවුන්, මෙවර මේ දක්වා තරග 13කට ක්‍රීඩා කර ඉන් තරග 03ක් පමණක් ජය ගෙන තරග 07ක්ම පරාජය වී සිටියි. අවසන් වරට තම මව්බිමේදී නවසීලන්තය ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් සම්පූර්ණ කර ඇත්තේ 2021 වසරේ ජනවාරි මාසයේ පාකිස්තානයට එරෙහිවය. එම තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගත් ඔවුන්, ඉන් වසරකට පසු බංග්ලාදේශය හමුවේ පළමුවරට සිය රටේදී ටෙස්ට් තරග පරාජයක්ද ලැබුවේය.


මැතිව්ස් හා විලියම්සන් කඩඉමක

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු හත්දහසේ (7000) සීමාවට පැමිණෙන තෙවැනි පිතිකරුවා වීමට ඇන්ජලෝ මැතිව්ස් සිටින්නේ ලකුණු 47ක් පසුපසිනි. මේ වන විට ටෙස්ට් තරග 100කට ක්‍රීඩාකර ඇති මැතිව්ස්, ලකුණු 6,953ක් රැස්කරගෙන සිටියි. 45.1%ක පිතිකරණ සාමාන්‍යයක් ඇති මැතිව්ස්, ශතක 13ක් හා අර්ධ ශතක 38ක් රැස්කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කර ඇත්තේ කුමාර් සංගක්කාර (12,400), මහේල ජයවර්ධන (11,814) හා සනත් ජයසූරිය (6,973)යි. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කිරීමට කේන් විලියම්සන්ට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු අටක් පමණි. ඒ අනුව ඔහු මෙවැනි දස්කමක් දක්වන දෙවැනි රට ශ්‍රී ලංකාව වෙයි. මෙම කඩයිම ඔහු පළමුවෙන්ම සම්පූර්ණ කර ඇත්තේ පාකිස්තානයට (මේ වන විට 1519) එරෙහිවය. වත්මන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් නවසීලන්තයේ හොඳම පිතිකරණ දක්‍ෂතාව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර, ඔහු ලකුණු 839ක් රැස්කරගෙන සිටියි.

සංජිව ධර්මසේන