The-husband-who-told-that-the-wife-is-treated-like-God-was-beaten-by-his-wife-in-public

නිවසේදී සිය භාර්යාව තමාට සලකන්නේ දෙවියන්ට බුදුන්ට මෙන් යයි කාර්යාලයේදී නිතර නිතර පුරසාරම් දෙඩූ සහෘදයකුට ඇත්තටම භාර්යාව ඔහුට සලකන්නේ එසේ නොවන බවට පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ.

හේ නිතරම කාර්යාලයේදී කීවේ තමා නම් ගෙදර සිටින්නේ කොන්ද කෙළින් තියාගෙන බවය. නෝනා තමාට උඩින් නොයන බවත් ඔහු නිතර නිතර පැවසුවේය. ඒ අඩියක් පුඩියක් ගහගෙන ගෙදර ගියදාට නෝනා දමන ගෝරි පිළිබඳව සිය සහෝදර සේවකයන් කාර්යාලයේදී පවසන විටදීය. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එදාට නෝනා වෙනදාටත් වඩා මට සලකනවා යයි ඔහු වැඩිදුරටත් කීවේය. ස්වාමි පුරුෂයන් දැන ගන්න ඕනෑ නෝනා හදා ගන්න.

බිය ගුල්ලන් වගේ ඉන්න නම් හොඳ නැහැ යයි එවන් අවස්ථා වලදී ඔහු තව තවත් පුරසාරම් ඇද බෑවේය. ඔහු නිතරම පෙන්නුවේ නෝනා තමාට දෙවියන් බුදුන් මෙන් සලකන බවය.

මේ අතරවාරයේදී ඔහුගේ ගමේ තිබූ මළ ගමකට ඔහු සමග එකට වැඩකරන සේවකයන් දෙදෙනෙකු යතුරුපැදියකින් රාත්‍රියේ ගොස් තිබිණ. සිය සහෝදර සේවකයා මතක් වුණු මේ දෙදෙනා නිදිමත යන්නත් එක්ක යතුරු පැදිය මග දමා මළගම අසල තිබූ ඔහුගේ නිවසට ගියේ හොඳ කෝපි කෝප්පයක් තොල ගෑමේ අටියෙනි. ඔහුගේ නිවස ආසන්නයට යත්ම නිවස තුළින් මහා ගාලගෝට්ටියක් ඔවුනට ඇසිණ. එම නිවසේ ඉදිරිපස දොරද වසා තිබිණ. ඔවුන් දෙදෙනා සිතුවේ සිය මිතුරාගේ නිවසේ අයෙකුට කරදරයක්වත් ද කියාය. ඒ නිසාම ඔවුන් දෙදෙනා මිතුරාගේ නිවසට කිට්ටු කරන විට ඔහුගේ භාර්යාව කාටදෝ තදින්ම බැණ වදිනුද පහර දෙනුද ඇසිණ. ඔවුන් සිතුවේ ඇය බැණ වදිනුයේ තම දරුවෙකුට කියාය. වඩාත් හොඳින් කන්දීගෙන සිටි ඔවුනට ඇසුණේ තමාට දෙවියන් බුදුන් මෙන් සලකනවා යයි කී බිරිඳ උඹ තෝ යකෝ කියමින් ඔහුට හොඳට දෙස් දෙවොල් තබන බවය.

තම නෝනලාට තම හයි හපන්කම් පෙන්වන ලෙස නිතරම පවසන නිසා ඔවුහු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතූහ. ඒ සිතුවිල්ලත් සමගම ඔවුන් දෙදෙනා මිතුරාගේ නිවසේ දොරට තඩි බෑවේය.

සිය අනන්‍යතාව තහවුරු කරගෙන නිවසේ දොර ඇර ගන්නා විට ඔහුට දෙස් දෙවොල් තබමින් සිටි ඔහුගේ ඇඹේනිය වාෂ්ප වී හමාරය.

 අපි ටිකක් වෙලා වෙනවා ඇවිල්ලා. කොහේද ඉතිං කතා කළාට ඇහුණ එකක යැ නෝනා උඹට දෙන දීමට අපි කතා කළ එක ඇහුණේ නැහැ. අනේ මචං උඹලාටත් ඇහුණාද මගේ ගෑණි බැණපුවා. මොකදමේ උඹලා අවේලාවෙ එනකොට කියලා එන්න එපායැ ඔහු බයාදු ලෙස කීවේය. මචං අපි ආවේ මේ මළ ගෙදරට. එහෙ ආපු ගමන් උඹලා දිහාත් එන්න හිතුණා යයි මිතුරන් දෙදෙනා කීහ. අනේ මචංලා අද වුණු දේ කාර්යාලයේ කාටවත් කියන්න එපා. ඒ ගැන කටේ කෙළ බිමදාන්න එපා යයි මිතුරන්ගෙන් ඔහු පොරොන්දු කර ගත්තේය.

නෝනා ඔහුට බැණපු බව නොකියන බවට මිතුරන් දෙදෙනා පොරොන්දු වුවද ඔවුහු මුළු කාර්යාලයටම කීවෝය. ඔහු පසුදා කාර්යාලයට එන විට පෙරදා රාත්‍රියේ ඔහුගේ නිවසේ සිද්ධිය පිරිසගේ විසුළු වලට ලක් විය.

එම්. සුසිල් ප්‍රියන්ත