The-middlemen-have-also-exploited-the-arulu-fruit-of-the-adivasis

නිල්ගල ඖෂධීය රක්ෂිත වනයේ මේ කාලයේ සරුවට හටගන්නා අරළු ගෙඩිවලින් ජීවිකාව ගෙන යන ගැමි පවුල්  2500ක් පමණ ගැටලු රැසකට මුහුණ දී සිටින බව කියයි.  බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හඳුන් වන හෙක්ටයාර් 12000 කින් සමන්විත නිල්ගල වනයට මායින්ව තිබෙන බිබිල - මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් වන නිල්ගල, රතුගල, බුළුපිටිය, පිටකුඹුර, කරාඩුගල, ගල්ගමුව, නෙල්ලියද්ද, පිටගල, හදගල, අතරගල්ල, පේරන, පේරලන්ද, කොටබෝව, බැදියාව යන ගම්මානවල ජීවත් වන ගැමියන්ගේ මේ කාලයේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් ලෙස අරළු ගෙඩි කඩා විකිණීම බවට පත්ව තිබේ.

මේ කාලයේ අතරමැදි වෙළෙඳුන් නිල්ගල ප්‍රදේශයෙන් වියළි අරළු පොතු කිලෝවක් රුපියල් 300කට මිලට ගෙන පිට ප්‍රදේශවලට ගෙන ගොස් රුපියල් 2500-3000 මුදලකට විකුණන බව කියයි. මේ සම්බන්ධයෙන් රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ මෙසේද පැවසීය.

වනය අවට ගම්මානවල ඉන්න අපට ජීවත් වෙන්න ආදායම් මාර්ග නෑ. අපේ මුතුන් මිත්තන් පවා නිල්ගල වනයේ හැදෙන ගෙඩි වර්ග කඩලයි ජීවත් වුණේ. හේනක් කොටන්න ඉඩක් නෑ. තියන ඉඩමට ඔප්පුත් නෑ. අහස් දිය ඇරුණාම වැවක් අමුණක් පේනතෙක් මානයක නෑ. පත්වන හැම රජයකින්ම අපි වාරි ව්‍යාපෘති, ඉඩමට ඔප්පු ඉල්ලුවා. තාම ලැබුණේ නම් නෑ. වනාන්තරය වත් නැතිනම් අපට ජීවිතයක් නෑ. වනයට යන අපි දින ගණනක් ගල් ගුහාවල රාත්‍රී ඉන්නවා. ගස්වලින් වැටෙනවා. කැලේ ඉන්න අලි, වලසුන්, කුළු මීහරකුන්ගේ ගොදුරු බවට පත්වන  අවස්ථා තියනවා. අනතුරුවලට ලක්වෙලා මියගිය අයත් සදාකාලික ආබාධිත අයත් ගම්වල ඉන්නවා.

අරළු පොතු වියළි කිලෝව රුපියල් 250 යි. අතරමැදියා ගසා කනවා. සතියක් කැලේ ගිහින් ගේන ඵලදාව විකුණුවාම හාල් කිලෝ 10ක් ගන්න බැරි අවස්ථා තියනවා. අපිට මෙහෙම වුණාට නගරයට ගියාම අරළු කිලෝවක් රුපියල් 2000 - 3000ක් වෙනවා. අපට විකුණාගන්න තැනක් නෑ. අපි කැලේ ජීවත්වන ගැමියන්. වනයේ සතුන්ට හානියක් කරන්නේ නෑ. ඒත් ඇතැම් නිලධාරීන් කැලේ යන අපිව ගෙන අල්ලා උසාවි යනවා. බොරු චෝදනා නගනවා. අපේ පරම්පරාවේම ගැමියන් දුක් විඳිනවා. අපේ ජීවිත අරළු ගෙඩියටම යට කරන්නේ නැතුව මේ රටේ බලධාරීන්ගේ අවධානය අපටත් යොමු වේවායි කියා අපි බලාපොරොත්තු වෙනවා යැයි ද කීය.
  ප්‍රසන්න පත්මසිරි