The-wife-who-was-accused-of-killing-her-husband-was-acquitted

ඇඳ පොල්ලකින් පහරදී තම සැමියා ඝාතනය කළැයි චෝදනා ලැබූ බිරිඳකට එරෙහිව පවරා තිබූ නඩුව විභාග කළ ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත්වීම නිසා විත්තිකාර බිරිඳ නිදොස් කොට නිදහස් කළාය. මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ මාලනි සිරියලතා නමැති විත්තිකාරියකි.

හබරාදුව පොලිස් වසමේ උණවටුන, නාගහවත්තදි 2009 ජූනි 08 වැනි දින තම විවාහක සැමියා වූ වරණසිරි ආනන්ද මොහොට්ටි යන දෙදරු පියා ඝාතනය කිරීමේ චෝදනාවට විත්තිකාරියට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණ.

ඝාතනය සිදුවන විට මියගිය අයගේ වයස අවුරුදු 61ක් වූ අතර විත්තිකාරියගේ වයස අවුරුදු 52ක් විය.

පැමිණිල්ල කියා සිටියේ මියගිය අය නිතරම බීමත්ව පැමිණ නිවසේ බඩු මුට්ටු පොඩිකරමින් කලහකාරි ලෙස හැසිරෙන බවය. ළමයින්ගේ විභාග පැවැත්වෙමින් තිබූ දිනවල පවා ඔහු බීමත්ව පැමිණ කලහකාරි ලෙස හැසිරී ඇති බවද පැමිණිල්ල කියා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් මියගිය අයගේ පුතුන් දෙදෙනාද කරාපිටිය රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද පොලිස් නිලධාරිහුද සාක්කි දෙනු ලැබූහ.

විත්තියේ නීතිඥවරයා කියා සිටියේ විත්තිකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙරම පහරදුන් බව කියන ඇඳ පොල්ල සොයාගෙන ඇති බවය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය කියා සිටියේ අධි චෝදනාවේ සඳහන් මූලිකාංග සනාථ කිරීමට පැමිණිල්ලට නොහැකිවී තිබෙන බවත් සාක්කිවල පරස්පර තාවද හේතුවෙන් විත්තිකාරිය නිදොස් කොට නිදහස් කරන බවත්ය.