Transfer of Western OIC to the issue of filling station fuel and hotel food is a problem

බස්නාහිර උතුර ​කොට්ඨාසයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයා පිරවුම්හලකින් ඉන්ධන හා හොටල්වලින් ආහාර නොමිලේ ලබාගත් බවට චෝදනා කර සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීම ගැටලු සහගත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



එම ස්ථානාධිපතිවරයා බලෙන් ඉන්ධන ලබාගත් බවට පැමිණිලි කර ඇති ඉන්ධන පිරවුම්හල් හිමිකරු මීට පෙර පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කිරීම සම්බන්ධව චෝදනා ලද අයකු බවද පොලිසිය පවසයි.



චෝදනාවට ලක්වූ ස්ථානාධිපතිවරයා එකී තනතුරේ වැඩ භාරගෙන ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙරය. එම ධුරයේ වැඩ භාරගත් මුල් කාලයේ ​පොලිසියේ උසස් යැයි කියාගන්නා නිලධාරින්ගෙන් ඔහුට නිතර ඇමැතුම් ලැබී ඇත්තේ ඉන්ධනහල් හිමිකරු පැමිණි විට ඔහුට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසටයි. එහෙත් අදාළ ඉන්ධන හල් හිමිකරුගේ පැටිකිරිය දන්නා ස්ථානාධිපතිවරයා විසින් එය හිතාමතාම මගහැර තිබිණි.

පසුදිනක ස්ථානාධිපතිවරයාට ඌව පළාතේ අධිකරණයක විභාග වන නඩුවකට පෙනී සිටීමට යෑමට අවශ්‍ය වූ බැවින් පෞද්ගලික මෝටර් රථයෙන් එම ඉන්ධන පිරවුම් හලට ගොස් ඇත්තේ ඊට ඉන්ධන ලබාගැනීම උදෙසාය.

එහිදී ‘ඔක්ටේන් 95’ පෙට්‍රල් ඉල්ලූ විට පොම්පකරු ලබාදී තිබුණේ ඔක්ටේන් 92 පෙට්‍රල්ය. ඊට උරණ වූ ස්ථානාධිපතිවරයා පොම්පකරුට බැණ වැදී ඇත්තේ ‘‘නිකම් නෙවී තෙල් ගහන්නේ සල්ලි දීලා’’ යනුවෙනි. එවිට මුදල් ලබාදුන්නද පොම්පකරු මුදල් ලබාගෙන නැත්තේ ‘‘බොස් පොලිසියෙන් සල්ලි ගන්නවට බණිනවා’’ යැයි පවසමිනි. පසුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියට පැමිණ රථවාහන අංශයේ නිලධාරියකු ලවා මුදල් ලබාදී තිබුණද පිරවුම්හලෙන් එම මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.



අදාළ නඩුවට ගොස් ආපසු එනවිට මෙම ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණේ මෙම පිරවුම්හලෙන් මුදල් ලබා නොදී ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙනි.

එම ස්ථානාධිපතිවරයා මීට පෙර රාජකාරි කළ පොලිස් ස්ථානයේ සිටියදී උසස් පොලිස් නිලධාරියකුගේ මිතුරන් සම්බන්ධ ගැටලු යොමුකර ඇතත්, තම වසමට අදාළ නොවූ බැවින් ඒවා විසදීම ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි පැවැසේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ස්ථාන මාරුව සිදුව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිතමිතුරන් උසස් තැන්වලට යොමු කරගැනීමේ අරමුණෙන් අවංකව රාජකාරි කරන පුද්ගලයන් මෙලෙස එළවා දැමීම සුලභ කරුණක් බවත් එලෙස කරන්නේ පළිගැනීමටදැයි සැකයක් පවතින බවත් පොලිස් පොඩ්ඩෝ පවසති.

ස්ථානාධිපතිවරයාට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විමර්ශන ආරම්භ කර තිබේ. තවද පොම්පකරු, රථවාහන අංශ නිලධාරියාගෙන් සහ ස්ථානාධිපතිවරයාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

හේමන්ත ලියනපතිරණ