විවාහ මංගල උත්සවයකට ආරාධිතව පැමිණි දෙපිරිසක් අතර ඇතිවු වචන හුවමාරුවක් දුරදිග යාමෙන් අපහසුතාවට පත්වූ බව කියන කාන්තාවක් කළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගතකර අදාළ කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි. 

නවගත්තේගම පොලිස් වසමේ එක්තරා ගමක පැවැති විවාහ මංගල උත්සවයකට දෙපාර්ශ්වයක් සහභාගී වූහ. එහිදී පිරිමි පාර්ශ්වයේ කැමැති අයට  රහමෙර තොලගෑම සඳහා වෙන්කර තිබු ස්ථානයේ එකම මේසයක පහර කෑමට ලක්වූ බව කියන පුද්ගලයාත් පහර දීමට සම්බන්ධ බව  කියන කාන්තාවගේ සැමියා සහ තවත් පුද්ගලයන් කීප දෙනකුත් වාඩිවී  රහමෙර තොලගෑමෙහි යෙදී සිටිමින් ඇත.



ආගිය තොරතුරු විහිළු තහළු මැද ක්‍රමයෙන් බෝතලය දෙක බයිට් පීරිසි හිස්වෙද්දී පිරිස අතර කතාබහද හිස් වචන බවට පෙරළෙන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තුවාලකරු සහ සැකකාරියගේ සැමියා අතර කතාබහද උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. එය කොතෙක්ද යත් මෙම අවස්ථාවේදී  තුවාලකරු සැකකාරිය සම්බන්ධයෙන් ඇගේ සැමියාට ‘වෙරි හිඳෙන‘ වචනයක් ප්‍රකාශ කර ඇත. තුවාලකරු කළ එම ප්‍රකාශය ඔහුගේ නරක වෙලාවට ඒ ආසන්නයේ මේසයකට වී සිටි සැමියා දෙස  අවධානයෙන් සිටි සැකකාරියට ඇසී ඇත. මෙහිදී උන්හිටිතැන් පවා අමතකව  කිපුණු ඇය තුවාලකරු වෙත කඩා පැන ඔහුගේ හිසට පොලු පහරක් එල්ල කර ඇති බවද පොලිසිය පවසයි. මෙහිදී තුවාලකරු ලේ පෙරාගෙනම පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා විය.