anuradapura-incident

පූර්ණ ආබාධිත තම පිරිමි දරුවන් දෙදෙනකු නිවෙසේ ළිඳට දමා ඉන් එක් දරුවකු මරණයට පත් කිරීමත් අනෙක් දරුවා මරණයට පත් කිරිමට තැත් කිරීමත් යන චෝදනා යටතේ කැබිතිගොල්ලෑව කනුගහවැව ප්‍රදේශයේ මවක ඊයේ (06) දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේම පදිංචි හතලිස් අට හැවිරිදි දෙදරු මවකි.  මෙම කාන්තාව පෙරේදා (05) උදෑසන දහයට පමණ තම ආබාධිත දරුවන් දෙදෙනා සමග ළිඳට පැන ඇති බව පොලීසිය පවසයි.



එහිදී විසි එක් හැවිරිදි සුනිල් ශාන්තගේ රවිඳු මිහිරංග නමැති තරුණ දරුවා ළිඳ තුළම මිය ගොස් සැකකාර කාන්තාව සහ නව හැවිරිදි දරුවා බරපතළ තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබූ බවත් පොලිසිය කියයි. සිද්ධියෙන් මියගිය විසිඑක් හැවිරිදි රවිඳු මිහිරංග පූර්ණ ආබාධිත අයකු බවත් රෝහල්ගත කොට ඇති ඔහුගේ  සහෝදරයා පූර්ණ කථන අපහසුතාවක් ඇති කන් නොඇසෙන බිහිරි තත්වයේ පසු වූ අයකු බවත් පොලිසිය පවසයි.

සිවිල් ආරක්ෂක තම සැමියා සමග පෙර දින සිදු වූ බහින්බස් වීමක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන් මෙම කාන්තාව මෙම අපරාධය සිදු කොට ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලිසීය පවසයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග වාට්ටුවක ප්‍රතිකාර කරමින් සිටිය දී ඇය අත්අඩංගුවට ගත් බවත් ඇය සමඟ රෝහල්ගත කළ නව හැවිරිදි අනෙක් ආබාධිත දරුවා හැටතුනේ වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කියයි. කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව සැකකාර කාන්තාව ඊයේ (06) සවස අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.


පැතුම් දර්ශන