bambalapitiya-house-maid-theft

පුවත්පතක පළවුන දැන්වීමකට අනුව බම්බලපිටිය ප්‍රදේශයේ වෛද්‍යවරයකුගේ නිවසේ මෙහෙකාර රැකියාවට ගොස් එහි තිබු රන් බඩු ඇතුළු දේපළ විනාඩි කීපයක් තුළ සොරාගත් කාන්තාවක බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. නිවෙස් වලින් රන් බඩු සොරාගැනීමේ සිද්ධී රැසක් සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව පැමිණිලි ඇති බවත්, කොල්ලුපිටිය, වැල්ලවත්ත, මිරිහාන, බ්ලුමැන්ඩල්, තලංගම, දෙමටගොඩ, හෝමාගම, වත්තල මහබාගේ, නිට්ටඹුව යන පොලිස් ස්ථාන වලින් ඇයට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් පැමිණලි වාර්තා වන බවත් පොලිසිය සඳහන් කරයි.



බම්බලපිටියේ ලොරිස් පටුමගේ පදිංචි වෛද්‍යවරයකු පුවත්පතක දමා තිබු දැන්වීමක් අනුව සැකකාරිය ඉකුත් 25 වැනිදා දුරකතන ඇමතුමක් දී එම නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි. සැකකාරිය එදිනම එම නිවසේ සේවය කිරීමට කැමැත්ත පලකර ඇති අතර එදින වෛද්‍යවරයාගේ බිරිය නිවසින් බැහැරව  සිටි හෙයින් වෛද්‍යවරයා සැකකාරිය නිවසේ මුළුතැන් ගෙයි රඳවා ඇයට එදින දිවා ආහාරය රැගෙන ඒමට ගිය අවස්ථාවේ සැකකාරිය නිවසේ අල්මාරියේ තිබු රුපියල් ලක්ෂ 2 අධික වටිනාකමින් යුත් රන්බඩු සොරාගෙන ඇති බව පොලිසිය කියයි. වෛද්‍යවරයා සැකකාරියට දිවා ආහාර ද රැගෙන විනාඩි කිහිපයකින් නිවසට පැමිණි අවස්ථාවේ සැකකාරිය තමන්ගේ දියණිය වැඩිවියට පැමිණ ඇති බවට ඇමතුම් ලැබුණ බවත් එම වැඩකටයුතු අවසන් වූ පසු යළි පැමිණෙන බවටත් පවසා නිවසින් පිටත්ව ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. නිවසේ අල්මාරිය විවෘත කර තිබෙනු දුටු වෛද්‍යවරයා එහි රන් බඩු අතුරුදන්ව ඇති බව දැක සිද්ධිය බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.



පැමිණිල්ල අනුව විමර්ශනය කර පොලිසිය සැකකාරියට රැකියාවක් ලබා දීමට යැයි පවසා දුරකතන ඇමතුමක් දෙමින් ඇය ගෑස්පහ ප්‍රදේශයට පෙරේදා (05) ගෙන්වාගෙන පසුව අත්අඩංගුවට ගෙන ඇත. තිස් අට හැවිරිදි මෙම සැකකාරියට ස්ථිර පදිංචියක් නොමැති අතර ඇය කොළඹ අවට මිතුරියන්ගේ නිවෙස්වල නැවතී සිට හා කාමර ගෙන රැඳී සිටිමින් දේපළ සොරා ගැනීම් කර ඇති බවද පොලිසිය කියයි.  වෛද්‍යවරයාගේ නිවසින් සොරාගත්  රන්බඩු හෙට්ටිවීදිය රන්බඩු අලෙවිසලකට අලෙවි කර තිබිය දී සොයාගෙන ඇත.
ඉන්දිකා රාමනායක