bambalapitiya-incident

බම්බලපිටිය නගරයේ පිහිටි ආයතනයක් ඉදිරිපිට සිගමනේ යෙදෙමින් සිටි බව කියන කාන්තාවකගේ මාස එකහමාරක් පමණ වයසැති දරුවා පෙරේදා (28) රාත්‍රියේ කාන්තාවක සහ පිරිමින් දෙදෙනෙකු විසින් පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.

  සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව මේ බව බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

බම්බලපිටිය නගරයේ පිහිටි ආයතනයක් අසල මෙම කාන්තාව අත දරුවාද වඩාගෙන සිඟමනේ නිරතව සිට ඇත. ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක සහ පුද්ගලයකු දරුවාට ඇඳුම් පැළඳුම් මිලදී ගෙන දෙන බව කියා ඇය දරුවා සමග එම ත්‍රිරෝද රථයේ ගොඩ කරවාගෙන දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදි සාප්පුවක් වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය  කියයි. ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරාට කුලිය ගෙවා ඔහු පිටත්කර යවා තිබේ.

ත්‍රිරෝද රථයේ පැමිණි කාන්තාව සහ පුද්ගලයා එම රෙදි සාප්පුවෙන් දරුවාට රුපියල් 1900ක් පමණ වටිනා රෙදිපිළි මිලදීගෙන ඇත. පසුව ඔවුන් වෙනත් ත්‍රිරෝද රථයක නංවාගෙන කාන්තාව සහ දරුවා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක් අසල පිහිටි රථ ගාලකට කැඳවාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි. ත්‍රිරෝද රථයෙන් ආ කාන්තාව සිඟමනේ යෙදී සිටි බව කියන කාන්තාවගෙන් අත දරුවා වඩා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේ ඇය දරුවා වඩා ගැනීමට දීම ප්‍රති ක්ෂේප කර ඇත. මේ අවස්ථාවේ කාන්තාව සමග පැමිණි පුද්ගලයා සහ ත්‍රිරෝද රථ රියැදුරු අතදරුවා උදුරාගෙන යාචක කාන්තාව ත්‍රිරෝද රථයෙන් බිමට ඇද දමා දරුවාද පැහැරගෙන පලාගොස් ඇතැයි පොලිසිය කීය.

සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව  පොලීසියට පැමිණ මෙම තොරතුරු හෙළි කරමින් පැමිණිලි කර ඇත.

අත දරුවා පැහැරගෙන ගිය තිදෙනා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.සිය අත දරුවා  නොමැතිව මෙම කාන්තාව හඬා වැලපෙමින් සිටින බව ද කියති. දරුවන් නොමැති අඹු සැමි යුවලක් දරුකමට හදාවඩා ගැනීමට මෙම අත දරුවා පැහැරගෙන ගියේද යන්න ගැන පොලිසිය සොයා බලාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය