බෙලිහුල්ඔය කරගස්තලාව ශ්‍රී ශෛලගංගාරාම පිරිවෙනේ විහාරාධිපති හිමියන්ගේ ආවාස ගෙය බිඳ එහි තිබූ මැණික් ගල් 14ක් හා රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇතැයි සමනලවැව පොලිසිය කියයි. සොරාගත් මැණික් ගල් 14හි වටිනාකම මෙතෙක් ගණනය කර නැති බව ද පොලිසිය පවසයි.
විහාරාධිපති කරගස්තලාවේ ධම්මදස්සි හිමියන් මේ සම්බන්ධයෙන් සමනලවැව පොලිසියට පෙරේදා (26) කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
තමන් වහන්සේ ඉකුත් 25 වැනිදා රාත්‍රියේ පිරිතකට වැඩම කළ අවස්ථාවේ කිසිවකු ආවාස ගෙයි දොර කඩා එහි කබඩ් එකක තිබූ මැණික් ගල් හා මුදල් සොරාගෙන ගොස් ඇති බවට උන්වහන්සේ පොලිසියට පැමිණිලි කර ඇත. මෙම පිරිවෙන් විහාරස්ථානයේ සාමණේර හිමිවරුන් 35 නමක් පමණ අධ්‍යාපනය ලබන බව ද පොලිසිය පවසයි. ආවාස ගෙයි කබඩ් එකේ තවත් රුපියල් ලක්ෂ ගණනක මුදල් තිබී ඇති අතර, ආවාස ගෙට ඇතුළු වූ සොරා මුදල් සියල්ල නොගෙන මැණික් ගල් 14 හා මුදල්වලින් කොටසක් සොරාගෙන යාම ප්‍රශ්නගත බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයේදී සැක කටයුතු තැන් රැසක් අනාවරණ වූ බවත්, ඒ ඔස්සේ විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය පවසයි. සමනලවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර ජයතිස්ස මහතාගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
ඉන්දිකා රාමනායක
0 Comments