biyagama-girl-missing-colombo

බියගම විහාරමහාදේවි ළමා සංවර්ධන මධ්‍යස්ථාන භාරයේ සිටි වයස අවුරුදු 14ක දැරියක කොළඹ බෞද්ධාලෝක මාවතේ ක්‍රීඩා උත්සවයකට පැමිණි අවස්ථාවේදී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (03) කරුණු වාර්තා කළේය.


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණයේ විභාග වූ ස්ත්‍රී දූෂණ නඩුවකට අදාළව මෙම දැරිය පරිවාස භාරයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ රඳවා සිටි බවත් ඉකුත් 25 වැනිදා සිට ඇය අතුරුදන්ව ඇති බවත් කුරුදුවත්ත පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබුණේ එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව විසිනි.
කොළඹ බෞද්ධ මහා සම්මේලනය යටතේ පාලනය වන අංක 531 බියගම විහාරමහා දේවි ළමා සංවර්ධන මධ්‍යස්ථානය භාරයේ සිටි මෙම දැරිය ඇතුළු දැරියන් 46 දෙනකු පාලිකාවන් දෙදෙනකු ද සමග කොළඹ 07 ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාංගණය වෙත ක්‍රීඩා උත්සවයක් සඳහා ඉකුත් 25 වැනිදා රැගෙන ආ බවත් එහිදී දහවල් එක පමණ සිට මෙම දැරිය අතුරුදන්ව ඇති බවත් පැමිණිල්ල සඳහන් කර ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.


මෙම දැරිය සම්බන්ධ නඩුවට අදාළ සැකකරු වැල්ලම් පිටිය ප්‍රදේශයේ සිටින බවත් ඔහු සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් පැමිණිල්ල ඉල්ලා ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් තිබිණි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලීසියට නියෝග කළේය.