apeksha-hospital-bribe

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත භාරයේ සිටින ඖෂධවේදියා සතුව තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තම රෝහලේ පිළිකා රෝගීන්ට බාරදෙන ලෙස

මහරගම අපේක්ෂා  රෝහල ඉල්ලීමක් කර ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (28) කරුණු ඉදිරිපත් කළේය.  මහරගම අපේක්ෂා රෝහලෙන් පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන කාබොෆැටීන් නමැති ඖෂධය ලබාදීමට රුපියල් විසිදාහක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන එම රෝහලේ ඖෂධවේදියා සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අල්ලස් කොමිසම ඊයේ (28) මෙම කරුණු ඉදිරිපත් කිරීම කළේය.



මෙම සිද්ධියේදී සැකකරුගේ නිවසේ තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් බෙහෙත් ද්‍රව්‍ය තම භාරයට ගෙන ඒවා මේ වනවිට අධිශීතකරණවල තැන්පත් කර ඇතැයි ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරු ඔහුගේ නිවසේ ඖෂධ ගබඩා කර ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍ර ලබාගෙන නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දැක්වීය.  මෙහිදී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා සඳහන් කර සිටියේ එම බෙහෙත් තම සේවාදායකයාගේ ෆාමසියේ තිබූ ඒවා බවත් එම බෙහෙත් ලබා දෙන්නේ කුමන කරුණක් හේතුවෙන් දැයි යන්නය.



සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන සඳහා රෝහලේ අධ්‍යක්ෂ හා ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු කිහිප දෙනකුගේ ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව අල්ලස් කොමිසම එහිදී අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35/3, දෙවන මාවත, අඹගහපුර, මහරගම පදිංචි අපේක්ෂා රෝහලේ ඖෂධවේදී මිස්සක උදයංග කන්දමුල්ලගේ නමැත්තාය.


නිමන්ති රණසිංහ