Indias-Supreme-Court-sets-up-panel-to-probe-Adanis-fraud-allegations

ශ්‍රී ලංකාව සමගද ව්‍යාපාර ගනුදෙනු කරන ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිගේ ව්‍යාපාරික අධිරාජ්‍යයට එරෙහිව එක්සත් ජනපද පර්යේෂණ ආයතනයක් විසින් චෝදනා ගොනු කරන ලද අතර එසේ සිදු කරන ලද වංචා විමර්ශනය කිරීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන මණ්ඩලයක් අද ( 2) පත් කර තිබේ.





හින්ඩන්බර්ග් රිසර්ච් නමැති එම ආයතනය විසින් ජනවාරි මාසයේ වාර්තාවක් මගින් අදානි සමූහ ව්‍යාපාර කොටස් හැසිරවීම සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා කර තිබූ අතර, ඒ සමගම එහි කොටස්ද තියුනු පහත වැටීමකට ලක් වී අදානි ලෝක කෝටිපති ලැයිස්තුවෙන්ද පහළ වැටිණි.

අදානි එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. නමුත් මෙම සිද්ධිය ඉන්දියාවේ දේශපාලන කැළඹීමක් ඇති කළ අතර විපක්ෂ නායකයින් අදානිගේ ප්‍රකාශයන් පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.

අද (2) බ්‍රහස්පතින්දා, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය චෝදනා විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල මණ්ඩලයක් පත් කළේය.
හිටපු විනිසුරු අභය එම් සප්‍රේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට මාස දෙකකින් වාර්තාව ලබාදෙන ලෙස දන්වා ඇත.



තීන්දුවෙන් මිනිත්තු කිහිපයකට පසු, අදානි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඔහුගේ සමාගම් අධිකරණ තීන්දුව සාදරයෙන් පිළිගන්නා බවත්, එය "කාලයට අනුව අවසන් තීරණය ගෙන එනු ඇති" බවත්ය.
“සත්‍යය ජය ගනීවි,” අදානි මහතා වැඩිදුරටත් පැවසීය.