ලිස්ටීරියා-බැක්ටීරියා-රෝගය-පැතිරීම-වෛරස්-රෝග-විද්‍යා-ප්‍රධානියා

ශ්‍රීපාදයෙන් වාර්තා වන ලිස්ටීරියා බැක්ටීරියාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ ඊයේ (20) ප්‍රකාශ කළේය.



වෛද්‍ය සමිත ගිනිගේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇතිකර ගත යුතු නැති බවයි. මෙම බැක්ටීරියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සත්‍ය නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ. කෙසේ වෙතත්, මෙම බැක්ටීරියාව නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ගේ ශරීරයට ඇතුළු වුවහොත් විවිධ සංකූලතා ඇති විය හැකි බව ඔහු පැවසීය.

මෙම බැක්ටීරියාව ආහාර හා ජලය හරහා පැතිරෙන බවත් ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වූ පුද්ගලයෙකුගේ එක් මරණයක් පමණක් මේ වන විට වාර්තා වී ඇති බවත් ඔහු පැවසීය. “සිරිපාද වන්දනාවේ පැමිණෙන ජනතාව මෙම බැක්ටීරියාවට අනියත බියක් ඇති කර නොගත යුතු අතර ආහාර හා ජලය සුරක්ෂිතව ලබා ගැනීමට පියවර ගත යුතු බව” ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රීපාද ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසල් සහ හෝටල්වලින් ලබාගන්නා ආහාර සහ ජල සාම්පල නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බවත්, පරීක්ෂාවට ලක් කළ කිසිදු සාම්පලයක මෙතෙක් ලිස්ටීරියා බැක්ටීරියාව අඩංගු වී නොමැති බවත් වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.