මැදිරිගිරිය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ප්‍රාථමික අංශයේ දරුවනට උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදාගෙන එහි විදුහල්පතිනිය සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කෑම පිළියෙළ කරගෙන ඇති බවට පාසල් සංවර්ධන සමිතිය චෝදනා කරයි. මවුපියන් පිරිසක් මේ සම්බන්ධයෙන් කලාප සහ පළාත් අධ්‍යාපන කාර්යාලවලටද ලිඛිතව දැනුම් දී ඇතැයිද පාසල් සංවර්ධන සමිතිය සඳහන් කරයි. ආහාර ලබාදීමේ වැඩසටහන සඳහා රජය එක් සිසුවකු වෙනුවෙන් දිනකට රුපියල් 100ක් ලබාදෙන අතර, මෙම පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන් 720 ක් වෙනුවෙන් දෛනික ආහාරවේල සඳහා රජය ලබාදෙන මුදල රුපියල් 72,000 කි.
මෙහි විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දිනය යෙදුණු පසුගිය වසරේ දෙසැම්බර් 5 වැනිදා එහි සාදය වෙනුවෙන් දරුවන්ගේ ආහාර කොන්ත්‍රාත්තුව ලබා ගෙන සිටින පුද්ගලයාගෙන් කිරිබත්, කොකිස්, කට්ලට් සහ කඩල ආදිය පිසවාගෙන ඇති අතර ඒ සඳහා යොදවා ඇත්තේ දරුවන්ගේ කෑම මුදල් බව පැවසේ. එදින දරුවන්ට ආහාර නොදෙන බැවින් කෑමට යමක් නිවෙසින් රැගෙන එන ලෙස මවුපියනට කෙටි පණිවුඩයක් මගින් දැනුවත් කර ඇතත්, දරුවන්ට ආහාර ලබාදුන් බව පවසමින් දිනට නියමිත වවුචර්පත් අත්සන් කර ඇතැයි ද ආරංචි මාර්ග කියයි.
පාසලෙන් ලබාදෙන උදෑසන ආහාරවේල ඇතැම් දිනවල ප්‍රමිතියෙන් තොර බවත් එම ආහාර වේලෙන් පසු දරුවන්ට ලබාදෙන අතුරුපස සඳහා විවිධ පලතුරු ලබාදෙන ලෙසට දැනුම් දී ඇතත් මෙම පාසලේ දරුවන්ට නිරන්තරයෙන් ලැබී ඇත්තේ සීනි කෙසෙල් පමණක් බවත් එම ආරංචි මාර්ග සඳහන් ලබාදීම සම්බන්ධයෙන් මවුපියන් වාචිකව සහ ලිඛිතව කරයි. පරිප්පු සහ කිරිහොදි ලබා දෙන විට ඒවායේ ප්‍රමාණය සහ උකු බව වැඩි කිරීම සඳහා පාන් පිටි මිශ්‍ර කරන බවටත් රොටී ලබාදෙන විට සතියක් පමණ ශීතකරණයේ තිබූ පොල්කුඩු යොදාගන්නා බවටත් මව්පියෝ චෝදනා කරති.
මෙලෙස පිසින ආහාර ළමුන්ට සුදුසු බවට විදුහල්පතිනිය නිර්දේශ කළත්, ඒවා රසවත් බවින් අඩුවීම නිසා දරුවන්ගෙන් අඬක් පමණ ඒවා ආහාරයට නොගන්නා නමුත් සියලුම දරුවන් වෙනුවෙන් පාසල මුදල් ලබාගන්නා බවටද මවුපියෝ චෝදනා කරති. මෙවැනි අක්‍රමිකතා හා දරුවන්ට ප්‍රමිතියෙන් තොර ආහාර කොට්ඨාස සහ කලාප අධ්‍යාපන කාර්යාලවලට දැනුම් දී ඇතත් අදාළ නිලධාරීන් පියවරක් ගෙන නොමැති බවට මවුපියෝ පවසති. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන ලෙස ඔවුන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. මේ පිළිබඳව විමසීමට පාසලේ විදුහල්පතිනිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද නොහැකි වූ අතර, මැදිරිගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ සිරිකෙත සිරි සීවලී හිමියන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී උන්වහන්සේ පැවැසුවේ මාධ්‍යයට අදහස් දීමට හැකියාවක් නොමැති බවයි.
0 Comments