The-couple-who-abandoned-the-baby-in-the-train-were-arrested-in-Bandarawela

ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයාගන්නට පොලිසියට හැකිවී තිබේ.
මෙම බිළිඳා අතැර දමා ගිය  ඔවුන් පසුව  දුම්රියෙන් පිටව පලාගිය දර්ශන සීසීටීවී මගින් හඳුනාගත් පොලිසිය විමර්ශන සිදු කිරීමෙන් පසු බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන ආකාරයට මෙම යුවළම වයස 26 පසුවන අයයි. ඔවුන් අනියම් ලෙස ඇසුරක් පවත්වමින් සිටි පෙම්වතුන්ය. ඔවුන් විවාහවී නොසිටි අතර දරුවාගේ පියා වන තරුණයා දෙහිවල රැකියාවක් කරමින් සිටි අයෙකි.  තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඒ බව ඥාතීන්ගෙන් වසන් කිරීමට ඇයව ඇගේ බණ්ඩාරවෙල නිවසින් කොළඹට ගෙන්වාගෙන රැකියාවක් කරන මුවාවෙන් රඳවා තබාගෙන සිටින්නට තරුණයා කටයුතු කර තිබේ. ඔවුන් වාසය කර ඇත්තේ දෙහිවල ආසන්න කුලී නිවසකය.

පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඊයේ 11 වනතුරු සති දෙකකට ආසන්න කාලයක් දරුවා නවාතැනේ තබාගෙන ඇති ඔවුන් දරුවාව ජීවත්කරමින් පවුල් කන්නට වත්කමක් නැති බව තේරුම්ගෙන කාට හෝ දරුවා ලැබෙන්නට සලස්වා දුම්රියේ අතැර යන්නට තීරණය කර ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණයවී තිබේ.
 අවිවාහක යුවළ ඊයේ කොටුව ස්ටේෂමේ නතර කර තිබූ මීනගයා දුම්රියේ දරුවාව දමා පළායන්නට ඒඅනුව කටයුතු කර ඇත.

පසුව ඔවුන් තම ගම් ප්‍රදේශවලට ගොස් ඇති බව සීසීටීවී විමර්ශන අනුව පොලිසිය සොයාගත්තේය.බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ රාත්‍රියේම  බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන රෝහල්ගත කර තිබුණි.
දරුවා බලාගැනීමට ඔවුන්ට තවදුරටත් උනන්දුවක් නැතිනම් දරුවා පරිවාස භාරයට පත්කරනු ඇති බවත් දරුවා මේ ආකාරයට මගදමා යාම සම්බන්ධයෙන් දෙන්නාටම දඩුවම් හිමිවනු ඇති බවත් පොලිස් ආරංචි හෙලිකර තිබේ.
අත්අඩංගුවට පත් අයගෙන් ප්‍රශ්න කිරීම සිදුකරන අතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
 


 

ජායාරූප - මර්වින් රොබර්ට් මහතා