අයිස් මිල අධික ලෙස ඉහළ යාම නිසා බහුදින ධීවර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වී තිබෙන බවත්, පසුගිය කාලයේදී ඉන්ධන මිල පවා අධික ලෙස ඉහළ ගිය බවත් සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරයි. මේ නිසා ධීවර වරායන් ආශ්‍රිතව අලෙවි කරන අයිස් සඳහා සාධාරණ පාලන මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා පැවසීය.
රුපියල් 400කට අලෙවි කළ අයිස් හොන්ඩරයක මිල බොහෝ ප්‍රදේශවල මේ වනවිට අලෙවි කරනු ලබන්නේ, රුපියල් 600ක් වැනි මිලකට බවත් බහුදින යාත්‍රාවකට වරකට අයිස් හොන්ඩර් 150 - 700ත් අතර ප්‍රමාණයක් භාවිත කරන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව එක්දින යාත්ර හා මත්ස්‍යයන් අලෙවි කරන පිරිස් හා ප්‍රවාහනය කරන පිරිස් පවා අයිස් භාවිත කරන බවත්, මේ නිසා මෙම පිරිස් පවා අයිස් මිල ඉහළ යාම හේතුවෙන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් සභාපතිවරයා සඳහන් කළේය. පාලන මිලක් නොමැති වීම නිසා වරින් වර අයිස් මිල ඉහළ යන බවත්, මේ වනවිට අයිස් මිල ඉහළ දමා තිබෙන්නේ, විදුලි බිල ඉහළ දැමීම සැලකිල්ලට ගනිමින් බවත් ඒ මහතා පැවසීය. විදුලි බිල ඉහළ යාම යටතේ අයිස් හොන්ඩරයක් සකස් කිරීමට අදාළ වියදම් ඉහළ ගොස් තිබෙන්නේ, රුපියල් 40ත් රුපියල් 44ත් වැනි මුදලක් බවත්, එහෙත් අයිස් හොන්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා තිබෙන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
ඉන්ධන මිල ඉහළ යාම හා නඩත්තු කටයුතු මිල ඉහළ යාම නිසා බහුදින යාත්ර 6,000ක පමණ ප්‍රමාණයෙන් යාත්‍රා 2,000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට රැකියාවට යාම නවතා දමා තිබෙන බවත්, අයිස් මිල ඉහළ යාම පාලනය නොකළහොත් තවත් සැලකිය යුතු යාත්‍රා ප්‍රමාණයක් ධීවර කර්මාන්තයෙන් ඉවත් වී යා හැකි බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය.
ඉන්දික හේවාවිතාරණ
0 Comments