මිතුරකුගේ සහායට ගිය තවත් සගයෙකුට කළිසම නොමැතිව සවස් වන තුරු ආගන්තුක නිවසකට වී සිටීමට සිදුවීමේ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි. මෙය පසුගිය කාලයේ කොරෝනා සංචරණ සීමා පැවති කාලයේ සිද්ධවූවකි. සිද්ධිය මෙසේය.
සම්මුඛ පරීක්ෂණයක් සඳහා කොළඹට යාමට තරුණයෙකුට අවශ්‍යතාව තිබුණි. පනවා ඇති සංචරණ සීමා නිසා ඔහු ඒ සඳහා තවත් යහලුවෙකුගේ සහාය පැතීය.
නියමිත දින උදේම අදාළ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානයේ සිටීමට නොහැකි බැවින් ඊට පෙර දිනයේ ඔවුන් සතු යතුරුපැදියකින් දෙදෙනාම එම සීමාවේ ඊට යාබදව පිහිටි ආගන්තුක කාමරයක නතර වීමට ගොස් ඇත. අවශ්‍යතාව ඇති තරුණයා උදේම අවදි වී අදාල කාර්යය සඳහා පිටත්ව ගොස් ඇතත් සහායට ගිය හිතවතා උදේම අවදි නොවී කම්මැළිකමටත් එක්ක ටිකක් වැඩිපුර නිදාගෙන ඇත්තේ ඔහුට සම්මුඛ පරීක්ෂණයක් නොමැති නිසාය.
යහලුවා සම්මුඛ පරීක්ෂණය සඳහා ගිය පසුව පරක්කු වී අවදි වූ ඔහු උදේ ආහාරය ගැනීමට නගරයට යාම සඳහා තමා අඳින්නට රැගෙන ගිය කළිසම සොයා තිබේ.එම කාමරයේ කළිසමක් ඇතත් එයඔහුගේ කළිසම නොවන බව වැටහී තිබේ.සම්මුඛ පරීක්ෂණය සඳහා ගිය අය හා සම්බන්ධ වීමට නොහැකි ලෙසට එම දුරකතනය ද විසන්ධි කර ඇත.අදාළ කාර්යයට ගිය තරුණයා සවස් යාමයේ නවාතැනට පැමිණියේ ය.ඔහු පෙර දින යනවිට ඇඳගෙන ගිය කළිසම හා තමාගේ සහායට පැමිණි සගයා කොළඹ සිට අඳින්නට රැගෙන ගිය කළිසම් දෙකම එක පාටය.
සහායට ගිය සගයා කොළඹ අඳින්නට රැගෙන ගිය කළිසම තමාගේ යැයි සිතා ඔහු එය තම බෑගයට දමාගෙන සගයාගේ කළිසම යැයි සිතා ගෙදරින් ඇඳගෙන ගිය කිළිටි වූ කළිසම කාමරයේ දමා බෑගයත් රැගෙන ඔහු සම්මුඛ පරීක්ෂණයට ගොස් ඇති බව වැටහී තිබේ. තබා ගොස් තිබූ කළිසම කිළිටි වුවත් නිවසේ රැඳී සිටි මිතුරා තර බාරු වූ අයෙකු නිසා එය අඳින්නට ද නොහැකි තත්ත්වයක් උදා වී ඇත.මේ නිසා සම්මුඛ පරීක්ෂණය නිම වී තම මිතුරා එනකම් උදේ හා දවල් කැම තියා තේ එකක්වත් නොමැතිව සහායට ගිය සගයාගේ ආගන්තුක කාමරයට වී සිටින්නට සිදු වුණාලු.
0 Comments