Early-in-the-morning-the-house-of-the-accountant-of-the-Ministry-of-Health-was-attacked-with-weapons

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරියකගේ මොරගහහේන ප්‍රදේශයේ නිවසට ඊයේ (12) කඩාවැදුණු පුද්ගලයකු අලුයම එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ එම නිලධාරිනිය රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 32ක තැනැත්තියකි.  නිවසෙහි සාලයේ විශාල ලේ පැල්ලම් මෙන්ම කාන්තාවගේ බවට සැක කරන හිසකෙස්ද දක්නට ලැබුණු බව පොලිසිය  පවසයි.  සැකකරු තියුණු ආයුධයකින් පහර දුන් අවස්ථාවේදී විසිරුණු ලේ පැල්ලම් නිවසේ බිත්තිවල ද දක්නට ඇතැයි පොලිසිය කියයි.

ඇයට තියුණු ආයුධයකින් පහර දුන් බව කියන පුද්ගලයා පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. ඔහු එම නිලධාරිනිය විවාහ කර ගැනීමට සිටින පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි.  සැකකරු සමග ඉකුත් 2013 වසරේ සිට එකට වාසය කර ඇති ඇය මීට වසරකට පමණ ඉහත ඔහුද සමඟ මෙම නිවසේ පදිංචියට පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.  ඔහු විවාහක පුද්ගලයකු බිරිඳගෙන් දික්කසාදවීමෙන් අනතුරුව ඇය සමඟ විවාහවීමේ බලාපොරොත්තුවෙන් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම නිලධාරිනිය තවත් පුද්ගලයකු සමග ද අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට විවාහවීමට සිටි පුද්ගලයාට කෙටි පණිවිඩයක් ඔස්සේ දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව දෙදෙනා අතර බහින්බස්වීම් ද පසුගිය දිනවල හටගෙන තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. සැකකරු බදුරලිය ප්‍රදේශයේ ඔහුට අයත් වත්තකට යන බව පවසා නිවෙසින් පිටවී ගොස් ඊයේ අලුයම නිවෙසට පැමිණ ඇති අතර, නිලධාරිනිය නින්දේ සිටියදී නිවසෙහි ඉදිරිපස ජනෙල් වීදුරුව බිඳ ඔහු නිවසට ඇතුළු වී ඇයට තියුණු ආයුධයකින් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව පොලිසිය කියයි.



බරපතළ තුවාල ලද නිලධාරිනියගේ කෑ ගැසීම ඇසී යාබද නිවෙසක තරුණයකු පැමිණ තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයා නිවසින් පිටතට ඇද දමා බරපතළ තුවාල ලද කාන්තාව 1990 සුවසැරිය ගිලන් රථයකින් වෑතර රෝහලට ඇතුළත් කර  ඇත. පසුව ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. සැකකරු තියුණු ආයුධයකින් පහරදුන් අවස්ථාවේදී ඇය අත ඇල්ලීම හේතුවෙන් අතින් වෙන් වූ ඇඟිල්ලක් බිම වැටී තිබී ඇති අතර ඇය රෝහල් ගත කළ තරුණයා එම ඇඟිල්ල අයිස් බඳුනක දමා රෝහලට භාරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.  සැකකරු නිවසට ඇතුළු වූ ජනේලය අසල බිම තිබී ඉටි උරයක දමන ලද තැත්තක් ඇතුළු තියුණු ආයුධ කීපයක්ද පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.
බිමල් ශ්‍යාමන් ජයසිංහ