How-the-fire-of-the-family-of-the-husband-who-went-to-Korea-was-ignited-by-CCTV-evidence

17 හැවිරිදි දැරියකට ඉතා අමානුෂික ලෙස පහර දී වද හිංසාවට ලක් කිරීමේ සිදුවීමකට එම දැරියගේ 39 හැවිරිදි කුඩම්මා ඊයේ (10) දහවල් රාගම පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි. පහර කෑම්වලට ලක් වු දාහත් හැවිරිදි දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට මේවනවිට යොමු කර තිබේ.
වාර්තාවන ආකාරයට 17 හැවිරිදි දැරියගේ මව ඇයට වයස තුනහමාරේදී පමණ මියගියායින් පසු පියා තවත් විවාහයක් කරගෙන තිබේ. දෙවන විවාහයේදී එම දෙපළට තවත් ගැහැණු දරුවෙකු ලැබුණ අතර එම දැරියට දැනට වයස 9 කි.
පවුලේ ආර්ථික තත්වය යහපත් නොවන බැවින් 2015දී පමණ කොරියාවේ රැකියාවක් සඳහා පියා පිටතට ගියේය.
තමන්ගේ පළමු විවාහයේ දියණිය හොඳින් බලාගන්නට යයි දෙවන බිරියට පවරා ඔහු රට ගියත් කලකට පසු ඔහුට දියණියට සිද්ධවන හිරිහැර ගැන අසන්නට ලැබී තිබේ. ඉඳහිට ලංකාවට පැමිණෙන පියා දෙවන බිරියට තදින් අවවාද කර දන්වා ඇත්තේ තමන් රට ගියාට පසු ලොකු දුවට හිරිහැර නොකරන ලෙසයි.
කෙසේ වෙතත් පියාට රැකියාව අතහැර මෙරටට පැමිණෙන්ට අපහසුවීමත් දියණියට සුරක්ෂිත ජීවිතයක් අත්කරදීමට පවතින උවමනාවත් නිසා ඔහු අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් දෙවන බිරිය සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.


ගෙදර සිද්ධවන දේ අධීක්ෂණය පිණිස ගේ ඇතුළට පවා සීසීටීවී කැමරා ඕඩියෝ මයික්‍රෆෝන සමග සම්බන්ධ කර යන්නට වරක් කොරියාවේ සිට පැමිණි අවස්ථාවේ පියා කටයුතු කර තිබුණි.
 කෙසේ වෙතත් ‘කුඩම්මා‘ කුඩම්මාම වූ අතර ලොකුදුවට කරන වෙනස්කම් දිගටම කර තිබුණි. කොරියාවේ සිට සීසීටීවී කැමරා අධීක්ෂණය කරන පියා කුඩම්මාගේ හිරිහැර දැක වරින්වර ඇය අමතමින් තරවටු කර තිබෙන අතර තවදුරටත් දියණියට හිරිහැර කරන්නේ නම් විදේශයේ සිට එවන මුදල් නතර කරන බවද දන්වා තිබුණි.
විරසකය එන්න එන්නම දරුණු වෙද්දී විදේශයේ සිට එවන මුදල් පියා නතර කළේය. කුඩම්මාගේ කෝපය තවත්වැඩිවී ඇති අතර ඇය සැමියාගෙන් පලිගන්නට කර ඇත්තේ දියණියට වඩ වඩාත් හිරිහැර කිරීමය. සැමියා හා බිරිය අතර විරසකය උත්සන්න මට්ටමකට පැමිණ තිබුණත් කොරියාවේ සිටින සැමියාට මෙම ප්‍රශ්නය මෙරටට එන්නේ නැතිව විසඳන්නට අමාරු බව පෙනී ගොස් තිබුණි.
ඔහු තම කෝපය ඉහවහා ගිය තැන තමන් සතුව සුරක්ෂිත කරගෙන තිබූ වධහිංසන වීඩියෝ කොටස් සමාජ මාධ්‍ය තුළට උඩුගත කළේය
සමාජ මාධ්‍ය තුළ මෙම වීඩියෝ සංසරණය වෙද්දී පොලිසියට මේ ගැන ඉව වැටිණි.
මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගන්නට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය රාගම පොලිසියට උපදෙස් දුන්නේ ඒ අනුවය.
රාගම පොලිසියේ කණ්ඩායමක් එම නිවසට ගොස් පරික්ෂණ ආරම්භ කර තිබූ අතර ඇය පසුව පොලිසියට භාර විය.
නිවසේ සවි කර ඇති සීසීටීවී කැමරාවක රූප රාමු පෙළ පරීක්ෂාවට ලක් කිරිමේදී සැකකාර කාන්තාව දහහත් හැවිරිදි දැරියට අසභ්‍ය වචන කියමින් අමානුෂික ලෙස පහර දෙන අයුරු එම රූපරාමු පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබුණු බව පොලීසිය පවසයි.
දැරිය ඝාතනය කර සිරුර කෑලි කෑලි වලට කපා පාර්සල් කරන බවද කියමින් සැකකාරිය දැරියට බැණ වදින අයුරු ද දිස්වේ.
දහහත් හැවිරිදි දැරිය කුඩම්මාට තේ කෝප්පයක් රැගෙන ඇය වාඩි වී සිටි පුටුව ළඟට ගිය අවස්ථාවේ දැරියට අමානුෂික ලෙස බැණ වදිමින් පා පහරවල් එල්ල කරන අයුරු ද දැක්වේ. එක් අවස්ථාවක කිසියම් බාහිර පිරිමි පුද්ගලයකු ද පුටුවක වාඩි වී සිටින නමුත් එම පහරදීම් වළක්වන්නට ඔහු උනන්දු නොවේ.
සැකකාරිය සමග දැරිය ඉතා සතුටින් නිවසේ සිටින බවට පෙන්වීමට සැකකාරිය එම දැරිය සමඟ 'ඩාන්ස්' කර ලබාගත් රූප රාමු කොරියාවේ සිටින සැමියාට යවා ඇති බවද තොරතුරු ලැබී තිබුණත් බිරිය කරන බොරුව සැමියා සීසීටීවී ඔස්සේ පසුව හඳුනාගෙන තිබුණි.



රාගම, කුරුකුලාව ප්‍රදේශයේ  නිවසක වාසය කළ කරවිට ආරච්චිලාගේ දිනූෂා නමැත්තිය මෙම සිද්ධිය නිසා පොලිස් අත්අඩංගුවට පත්විය.
ඇය පොලිසියට පැමිණ සිදු කළේ වෙනත් කතාවකි.
‘මේ දරුවා ලෙඩක් තියන කෙනෙක්. මං වයස තුනහමාරෙ ඉඳන් එයාව බලාගත්තා. මාව මේ සැමියා ඒ කාලෙ කසාද බැන්දෙ කසාද බැඳපු බව හෝ දරුවෙක් ඉන්න බව කියල නෙමේ. මාව රැවටීමකට ලක් කරා.
මේ මනුස්සයට හරියට වෙන සම්බන්ධකම් තිබුණා. එයාගෙ කලින් නෝනා මැරෙන්න කලින් ලියුමක ඒ බව ලියල තිබෙනවා. මං ඒ ලියුමත් අරං පොලිසියට ආවේ. මං දරුවට ගැහුවේ හදාගන්න. ඒක සැමියගෙන් හංගලත් නැහැ. එයා ඒක දන්නවා..මේ පවුල ඇතුලෙ ප්‍රශ්න එයා පිටට ගෙනියනවා‘

17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට පොලිසිය කරුණු දැක්වීමෙන් පසු රාගම කුරුකුලාව ප්‍රදේශයේ කාන්තාව ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළේය.
එකී කාන්තාව අධිකරණයට පැමිණ තිබුනේ ඇගේ නව හැවිරිදි දැරිය සමගිනි.
සුළු තුවාල සහිතව සිටි 17 හැවිරිදි දැරිය ඊයේ දිනයේ දී රෝහල් ගත කර තිබේ. ඇයව ඥාතීන් බාරයට පත්කරන ලෙසද අධිකරණය මගින් දන්වා තිබේ.
පොලිස් නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.



How-the-fire-of-the-family-of-the-husband-who-went-to-Korea-was-ignited-by-CCTV-evidence