CCTV-searches-to-find-those-who-left-the-baby-in-the-train-toilet

කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක වැසිකිළිය තුළ තිබී ඊයේ (10) රාත්‍රී 7.30ට පමණ හමුවූ බිළිඳා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කර තිබේ.
දුම්රිය ආරක්ෂක අංශ  කියා සිටියේ නිල් පැහැති ප්ලාස්ටික් කුඩයක බහා බිලිඳා වැසිකිළිය තුළ තබා ගොස් තිබියදී හමුවූ බවයි.
වැසිකිලියට ගිය මඟියෙකු මෙම බිළිඳා දැක මේ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් වෙත දැනුම් දී තිබෙයි.
ඉන්පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පැමිණ මෙම බිළිඳු දරුවා ඔවුන්ගේ භාරයට ගැනීමෙන් අනතුරුව කොටුව පොලීසියට භාර දී තිබුණි.
පොලිස් භාරයට ගත් මෙම බිළිඳා වැඩිපුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පසුව එතැනින් රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කරන ලදි. බිළිඳා දින 10 ක් පමණ වයසක විය හැකි බවත් නිරෝගීතත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචි හෙළි කර තිබේ.
පොලීසිය කියා සිටියේ මෙම බිලිඳා වැසිකිලිය තුළ තබා ගියේ කවුදැයි සොයා ගැනීමට දුම්රිය ස්ථානයේ සවිකර ඇති CCTV කැමරා මේ වන විට පරික්ෂා කරමින් පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
 

ජායාරූප - මර්වින් රොබර්ට් මහතා