The-parents-of-the-child-who-was-left-in-the-train-are-in-remand-prison

කොටුව සිට මඩකලපුව දක්වා ගමන් ගන්නා මීනගයා දුම්රියේ දමා ගොස් සිටියදි සොයාගත් බිළිඳාගේ දෙමාපියන් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

දින 13 ක් වයසැති මෙම බිළිඳා දුම්රිය වැසිකිලියක දමාගොස් සිටියදී සොයා ගැනුණ අතර එය ආන්දෝලනාත්මක පුවතක් විය.
මෙම යුවළ විවාහ වී නොමැතිව දෙහිවල ප්‍රදේශයේ කුලී පදනම මත නතර වී සිට ඇති බවත්
සැකකාර තරුණයා පුද්ගලික සරසවියක අධ්‍යාපනය ලබමින් ඔන්ලයින් රැකියාවක නිරතව සිට ඇති බවත් වාර්තා විය.
 
විවාහ නොවීම හේතුවෙන් දරුවකු ලැබීම ගැටලුවක් වූ බවත් දරුවා රැගෙන නිවෙස්වලට යාමට නොහැකි නිසා බිළිඳාට ආදරය කරන අයෙක් රැගෙන යනු ඇතැයි අපේක්ෂාවෙන් දුම්රියේ දමා ගිය බව සැකකාර පියා ප්‍රකාශකර තිබෙයි.


රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර පසුව මව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

දුම්රිය වැසිකිළිය තුළ කුඩා බිළිඳා දමාගොස් ඇත්තේ එම පියා විසින් බවට ද පොලිසිය හෙළි කර ගෙන ඇත.
මෙම තරුණයා විසින් තරුණියගෙන් දරුවා ලබාගෙන කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වැසිකිළියේ දමා කොස්ලන්ද ප්‍රදේශයට බැස ගොස් ඇත.

දුම්රිය වැසිකිළියෙන් හමුවීමෙන් පසු බිළිඳා  රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වෙයි.


හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කළ එම බිළිඳා පසුව සාමාන්‍ය වාට්ටුවකට යොමු කර තිබුණි.


 සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු එම බිළිඳාගේ මව බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී සහ පියා කොස්ලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ ලබන 15 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. බිළිදා පරිවාස භාරයට පත්කර තිබෙනවා.
මේ අයගෙන් විමසීමේදී දරුවා භාරගන්නට කැමැත්තපළ කර ඇති නමුත් අධිකරණය ඒ සඳහා තවම අවසර ලබාදී නැත.

The-parents-of-the-child-who-was-left-in-the-train-are-in-remand-prison