gifted-yenula-hennaka-sri-lanka-boy-6-dies-after-fierce-cancer-battle

ශ්‍රී ලාංකික සම්භවය සහිත සය හැවිරිදි යෙනුල හෙන්නක ඇමරිකාවේ ඔහියෝ හි සත්කාරක නිවහනකදී පෙබරවාරි 24 දින මියයාම එම ප්‍රාන්තයටම කම්පනයක් ඇති කර තිබේ.
ලංකාවෙන් සංක්‍රමණයවූ චතුරිකා සහ ප්‍රදීප් ඉන්දික හෙන්නකගේ පුත්‍රයා වන යෙනුලට දුර්ලභ පිළිකාවක් වැළඳී ඇත්තේ 2020 ජූලි මාසයේදීය.'යූවින් සාර්කෝමා' නමැති එම පිළිකා රෝගය අස්ථි තුළ හෝ අස්ථි වටා ඇති මෘදු මාංශ පේශිවල හටගන්නා එකකි. මෙය වැඩිහිටියන්ට වඩා ළමුන් සහ තරුණයින් අතර වැඩිපුර දක්නට ලැබෙන බවත් කියැවේ.
වේදනාකාරී නොවන සම හරහා දැනිය හැකි ගැටිති, උදර වේදනාව අස්ථි ආබාධ හා බර අඩුවීම එහි මූලික ලක්ෂණ විය. සාර්කෝමා පිළිකා තත්වය  ඇතිවීමට නිශ්චිත හේතුව තවමත් ලෝකයේ වෛද්‍යවරු වටහාගෙන නොමැත . ඔවුන් විශ්වාස කරන්නේ, අනෙකුත් බොහෝ පිළිකා මෙන්ම, සෛල වර්ධනය නියාමනය කරන ජානවලට බලපාන DNA වල ඇති විකෘති වලින් සාර්කෝමා වර්ධනය විය හැකි බවයි. මෙම විකෘති දෙමව්පියන්ගෙන් සම්ප්රේෂණය විය හැකි බවටද මත තිබේ.


යෙනුලගේ පියා ප්‍රදීප් ඉන්දික මීට වසර 20 කට පමණ පෙර ඇමරිකාවට සංක්‍රමණයවූ අයෙකි. යෙනුලගේ මව ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට ගියේ මීට වසර 8 කට පෙර වන අතර ඔවුනගේ විවාහයෙන් වසර දෙකකට පමණ පසු 2017දී යෙනුල උපත ලැබුවේය. පිලිකා තත්වය මුලින්ම වටහා ගත්තේදරුවාට වයස 3 දීය.
 සනීසයිඩ් හි ක්ලෝව් වැලි පාසලේ ඉගෙනුම ලබමින් සිටි දීප්තිමත් සිසුවෙකුවූ යෙනුල ආර්ය හෙන්නක විවිධ දක්ෂතා වලින් පිරිපුන් අයෙකු විය. පිළිකාව සමඟ වසර තුනකට ආසන්න සටනක නියැළෙමින් සිටියදීත් ඔහු තම හැකියාවන් වෙනුවෙන් වෙහෙසුණේය.

"එයා අපි එක්ක හිටිය ඒ ටික කාලයට ගොඩක් වැඩ කළා. කතා නිර්මාණය කළා. ඒ කතාවලින් චිත්‍රපට හැදුවා. කවි සහ ගීත ලිව්වා. ඒ ඔක්කොම කළේ පිළිකාවෙන් පීඩා විඳින අතරතුරදි. ඒ වගේ ම එයාට හැමෝම ආදරය කළා. හැම තැනක දී ම එයාට ආදරය හිමි වුණා," යෙනුලගේ මව ඇමෙරිකානු මාධ්‍ය වෙත පවසා තිබිණි.
ඔහුගේ කල්පනාකාරී බව, කරුණාවන්තකම සහ නිර්මාණශීලිත්වය අතිශයින් දුර්ලභ බවත් ඔහුගේ වයසේ දරුවෙකු තුළ නිතර දක්නට නොලැබෙන බවත් ඇය පැහැදිලි කළාය.

යෙනුල හෙන්නක කුඩා අවධියේ සිට ම කවි සහ ගීත රචනයට යොමු වී ඇති අතර, ඔහු 'Wind of escape' නමින් කාව්‍ය සංග්‍රහයක් ද පළ කළේය.

එහි සිතුවම් නිර්මාණය ද ඔහු විසින් සිදුවීම විශේෂත්වයකි.

ඔහියෝහි ශාන්ත ජෝර්ජ් හි පදිංචි යෙනුලගේ පියා වන ප්‍රදීප්  වසර 20ක කාලයක් මෙරිකා එක්සත් ජනපදයේ රියැදුරෙකු ලෙස සේවය කරන්නෙකි මව චතුරිකා පෙර පාසල් ගුරු සහායිකාවක ලෙස සේවය කරන්නියකි.
රෝගය හඳුනාගැනීමෙන් ටික කලකට පසු යෙනුල පාසල් ගමන නතර කළේය. පසුගිය වසර පුරා ඔහු Cleveland (Ohio) ළමා පිළිකා සායනයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
යෙනුල සහ ඔහුගේ දෙමාපියන් ක්ලීව්ලන්ඩ් රොනල්ඩ් මැක්ඩොනල්ඩ් නිවසේ නැවතී සිටි අතර එහිදී ඔවුන්ට නොමිලේ නවාතැන් ලැබුණි.

මේ කුඩා දරුවා විමති සහගත ලෙස ශල්‍යකර්ම විඳදරාගත් අතර, ඔහුගේ ඉළ ඇටයක් ඉවත් කරන්නට පවා සිදු විය. රසායනික චිකිත්සාව, විකිරණ සහ සායනික ඖෂධ අත්හදා බැලීමක් ද සිදු කළේය.
යෙනුලගේ ප්‍රතිකාර කාලය පුරාවටම වෛද්‍යවරුන් සහ හෙදියන් ඔහුගේ ඔරොත්තු දීමේ හැකියාව සහ කල්පනාකාරී බව ගැන වර්ණනා කර තිබේ.‍
6 හැවිරිදි යෙනුල ජීවිතය පිළිබඳ පුදුමාකාර ආශාවක් ඇතිව, දරුණු සටනකින් පසු ඔහියෝ හි ආගන්තුක සත්කාරක නිවහනේදී පෙබරවාරි 24 දින මිය ගියේය.
ඔහුගේ වියෝව ගැන මාධ්‍ය ඔස්සේ එම ප්‍රාන්තයේ බොහෝ දෙනා දැනගත් අතර කම්පනයටද පත්විය.
අවසන් කටයුතු අද (3) සිකුරාදා සවස 4 සිට 9 දක්වා විලෝබෘක් හි මැතිව් අවමංගල්‍ය නිවස විසින් සිදු කරනු ලබන බවද ඇමරිකානු මාධ්‍ය වාර්තාවේ දැක්වේ.