The-mother-gave-the-birthday-shirt-that-her-daughter-brought-to-her-boyfriend-to-a-beggar

සිය පෙම්වතාගේ උපන් දිනයට දීමට තරුණියක නිවසට ගෙනා කමිසය ඇගේ මව විසින් කෑගල්ල නගරයේ යාචකයෙකුට දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.  වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කෑගල්ල ප්‍රදේශයේ ගමක පදිංචි 24 හැවිරිදි තරුණියක් කෑගල්ලේම ඇගළුම් කම්හලක සේවය කරන්නීය.

ඇය වසර දෙකක පමණ කාලයක සිට එකී ඇඟළුම් ආයතනයේ රියදුරු රැකියාවක් කරන 27 හැවිරිදි තරුණයකු සමඟ සම්බන්ධකමක් පවත්වා ගෙන යන්නීය. මේ සම්බන්ධතාව පිළිබඳ තරුණියගේ මව්පියෝ මීට මාස හතකට පමණ ඉහතදී දැන ගෙන දිනක් දියණියගෙන් පෙම්වතා පිළිබඳ විමසූහ. තමන්ට පෙම්වතකු නොමැති බවත් අසත්‍ය තොරතුරු දුන්නේ කවුරුන්දැයි තරුණිය මව්පියන්ගෙන් විමසුවාය. ඒ වන විට මවුපියන් තරුණයා පිළිබඳ තොරතුරු කිහිප දෙනෙකු මාර්ගයෙන් සොයා ගෙන තිබුණි. එම තරුණයා කලින් තරුණියක තම නිවසට රැගෙන ගොස් මාස කිහිපයකට පසුව ඇයට පහරදී එළවා දමා තිබු අයකු බවත් පසුව ඇය පැන ගොස් මේ වන විට වෙනත් පවුල් ජීවිතයක් ගත කරන බවත් ආරංචි වී තිබුණි.

මව්පියන් සියලු කරුණු කාරණා සිය දියණියට පහදා දුන්නද තරුණිය මව්පියන්ගේ අවවාද නොසලකා සම්බන්ධතාව දිගින් දිගටම පවත්වාගෙන ගියාය.

ඉකුත් දිනෙක තරුණයාගේ උපන් දිනය යෙදී තිබුණි. මෙම උපන් දිනයට සිය පෙම්වතාට දීමට තරුණිය රුපියල් 3750 ක් වටිනා කමිසයක් සහ උපන් දින සුබපැතුම් කාඩ් පතක් ගෙනැවිත් වැඩ නිමකර නිවසට පැමිණෙන අවස්ථාවේ මව්පියන්ට හොර රහසේ සිය අල්මාරියේ සඟවා තැබුවාය. පසු දා තරුණිය ඇගළුම් ආයතනයේ රැකියාවට ගිය අවස්ථාවේ දී මව තරුණියගේ අල්මාරිය විවෘත කර බලන අවස්ථාවේ දී කමිසයක් හා උපන් දින සුබ පැතුම් කාඩ් පතක් දැක පුදුමයට පත්වූවාය. මව කමිසය හා උපන් දින සුබපැතුම් කාඩ් පත ගෙන තමන්ගේ අල්මාරියේ සැඟවූවාය. තරුණියගේ පෙම්වතාගේ උපන් පන් දිනය ඉකුත් 18 දාට යෙදී තිබුණි.

තරුණිය 17 ද වැඩ නිමකර නිවසට පැමිණෙන අවස්ථාවේ දී තරුණයාගේ දුරකථනයට ඇමතුමක් ගෙන හෙට  අලුයම  මුණගැසීමට ප්‍රධාන මාර්ගයට පැමිණෙන ලෙස දන්වා සිටියාය. තරුණිය 18 පාන්දර නැගිට කමිසයයි උපන් දින සුබපැතුම් කාඩ් පතයි සොයා  මවගෙන් විමසීමක් කළාය. තමන් අල්මාරිය විවෘත නොකළ බවත් පැවසුවාය.

තරුණිය පාන්දරම දුරකථනයෙන් සිය පෙම්වතාට කතා කොට අලුයම තමන් මුණගැසීමට නොපැමිණෙන ලෙසත් වෙනත් දිනෙක පැමිණෙන ලෙසත් දැන්වූවාය. තරුණිය හිත් වේදනාවෙන් රැකියාවට පිටත්ව ගියාය.ඇය රැකියාවට පිටත්ව ගිය අවස්ථාවේ දී තරුණියගේ මව උපන් දින සුබපැතුම් කාඩ් පත ඉරා ළිපට දමා පුළුස්සා කමිසය ගෙන කෑගල්ල නගරයට ගොස් යාචකයකුට දී ඇති බව වාර්තා වෙයි.
දියනියට මෙය ආරංචි නොවූ නමුත් මව ඥාතීන්ට පවසා ඇත්තේ දරුවාගේ මුරණ්ඩු පෙම මට්ටු කරන්නට තමන්ට අපහසු නමුත් ඒ ගැන තිබෙන කෝපය පහව නැති බවයි.

චමින්ද වැවතැන්න