bothalegama-husband-story

ඉතාලියේ සේවය කර හරිහම්බ කරගත් මුදලින් මියගිය තම ආදරණීය බිරිඳ වෙනුවෙන් දිනකට කිලෝ 08ක බත් උයා සතුන් සොයා ගොස් කුසගින්න නිවන දුර්ලභ ගණයේ  පිංවතෙක් ගැන බෝතලේගමින් වාර්තාවේ.

වසර 22ක කාලයක් ඉතාලියේ කතානියා නගරයේ සේවයේ නිරතව සිට දිවයිනට පැමිණ තමන් හරිහම්බ කරගත් මුදලින් අකාලයේ මියගිය තම ආදරණීය බිරිඳට පිං දෙමින් ගමේ ජීවත්වන සුනඛයින්, බළලුන් වැනි අසරණ සතුන්ගේ කුසගින්න නිවමින් දිනකට කිලෝ 08ක බත් උයා බෙදාදෙන දුර්ලභ ගණයේ පිංවතෙක් වෙන්නප්පුව ආසනයට අයත් බෝතලේගම පදිංචිව සිටී.



ඔහු නමින් ගරුසිංහදේවගේ සෝමවීර ජයනන්ද වන අතර, ඔහු දැනට ලුණුවිල බෝතලේගම පදිංචිව සිටියි. සැමදාම උදෑසන හා සවස බත්මලු කීපයක්ම යතුරු පැදියේ එල්ලාගෙන අසරණ සතුන්ගේ කුසගින්න නිවන්න නිවසින් පිටත්වන ජයනන්ද මහතා ප්‍රදේශවාසී ජනතාවගේත් කිසිවකුගේත් පිහිටක් නොමැතිව කුසගින්නේ බලා සිටින අසරණ සතුනගේත් හිතමිත්‍රයෙක් බව නොකියා බැරි තරම්ය.
මේ වන විට වසර ගණනාවක සිටම මේ කරන උතුම් පුණ්‍ය ක්‍රියාව සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකදී ජයනන්ද මහතා මෙසේ කීය.
‘මම සල්ලිකාරයෙක් නොවේ. ඒත් මම මගේ පණ වගේ අසරණ සතුන්ට ආදරය කරනවා.

එසේ කරන්නේ ඔවුන්ට කටින් කතා කර යමක් ඉල්ලා ගන්න බැරි අසරණයින් නිසයි. කටින් කතා කරන්න හැකි, යම් රැකියාවක් කරන්න හැකි, මෙලොව ජීවත්වීමට වාසනාව ඇති අපි ඒ අසරණයින් දෙස නොබැලුවහොත් ඒකත් පාපයක් කියලයි මම හිතන්නෙ. මම ඉතාලියේ කතානියා නගරයේ වසර 22ක පමණ කාලයක් සේවය කර යම් මුදලක් හොයාගත්තා. මම ඉතාලියේ ජීවත්වන කාලයේත් අසරණ සතුන් සොයා ගොස් ඔවුන්ගේ කුසගින්න නිවීමට කාලය වෙන්කර ගත්තා. ඒ රටේදී කීයක් හරි හොයාගත්තෙ මටත්, මගෙ ආදරණීය බිරිඳටත්, ළමයින්ටත් යහපත් අනාගතයක් උදා කිරීමටයි.


ඒත් මගේ සියලුම බලාපොරොත්තු සුන් කරමින් මගේ ආදරණීය බිරිඳ හදිසියේ රෝගාතුරව මිය ගියා. ඇය මිය ගොස් දැනට වසර 22ක් පමණ වෙනවා. ඇයගේ මරණයෙන් පසු අසරණ සතුන්ගේ කුසගිනි නිවීමේ කටයුතු තවත් වර්ධනය කිරිමට අදහස් කළා. දිනකට සහල් කිලෝ 08කින් බත් උයා තවත් මාළුපිණි ද සමඟ දිනපතාම උදේ සවස මගේ යතුරුපැදියෙන් ගමවටා යන ගමන ප්‍රීතිමත් ගමනක්.

මගේ බිරිඳට පිංදෙන්නත් දැන් මෙය අවස්ථාවක්කර ගත්තා. අයාලේ යන සුනඛයින්, බළලුන් 50ක් පමණ මගේ මේ පුණ්‍ය කටයුත්තට එක්වෙනවා. වැඩේ ටිකක් අමාරු වුවත් මම මැරෙන තෙක් මේක නවතන්නේ නැහැ. බිරිඳ වෙනුවෙන් ඉතිරි කළ මුදලින් කොටසකුත් මේ අසරණයින් සඳහා වැය කරනවා. මා මේ කරන පිංකම්වල බලයෙන් මගේ බිරිඳට නිවනට යාමට හැකි වේවි.

වෙන්නප්පුව සුනිල් ප්‍රනාන්දුපුල්ලේ