donkey-face-police

පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් සිටියදී අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංග හෙවත් බූරු මූණා නමැත්තා නවාතැන් ගත් ස්ථාන සහ රැකවරණය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් සිදුකරන බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය  කියයි.

කටුනායක  ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පලා යාමෙන් අනතුරුව දින දෙකක් මීගමුවේ හෝටලයක ගතකර කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයට ගිය ඔහු තිරප්පනේ නිවසක් වෙත රැගෙන ගොස් ඇත්තේ නීතිඥවරයෙකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



එය හෝමාගම පදිංචි විශ්‍රාමික හමුදා නිලධාරියකුට අයත් නිවෙසක් බවත් එම විමර්ශනවලදී අනාවරණය වී තිබේ.  සැකකරු අධිකරණයට භාර  කිරීම සහ ඔහුට  රැකවරණදී ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් නීතිඥවරයකුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා  දීමට පොරොන්දු වී ඇතැයිද එම විමර්ශනවලදී   වැඩිදුරටත් අනාවරණය වී ඇත. බූරු මූණා නමැත්තාට තිරප්පනේ නිවසේ රැකවරණය ලබාදී ඇත්තේ ඉතාලියේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්ගම විදුර නමැත්තාගේ ඉල්ලීම මත ඩුබායි හි සැඟවී සිටින ගඟන නමැති සංවිධානාත්මක අපරාධකරු බව පොලිසිය කියයි.

ඉකුත් 15 වැනිදා සිවු දෙනකුගෙන් යුත් කණ්ඩායමක්  තිරප්පනේ නිවසට වෑන් රථයකින් ගොස් බූරු මූණා නමැත්තාව තිරප්පනේ නිවසින් රැගෙන කරවනැල්ල හෝටලයක් වෙත ඇරලවා පිටවී ගොස් තිබූ බවද පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත.

බූරු මූණා නමැත්තා නවාතැන් ගත් ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කන්නන්ගරගේ  ලලිත් කන්නන්ගර, රත්ගම විදුර, ගඟන හා ඩිලාන් නමැති සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ අපරාධ සඳහා මොහු යොදා ගෙන ඇති බව ද පොලිසිය කියයි.  සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ  පනත යටතේ දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන ඔහු මෙතෙක් සිදු කළ අපරාධ, ඒවාට රැකවරණය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම ඝාතන සඳහා යොදා ගත් ස්වයංක්‍රීය ගිනි අවි යම් ත්‍රස්තවාදී සංවිධානයකින් ලැබුණේද? මුදල් ලද ආකාරය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ