cd-wicremaratne-extended

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය අද (25) දිනයේදී අවසන්වීමට නියමිතව තිබූ අතර ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (24) සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමටය.


පොලිස්පතිවරයෙකු නැවත පත් කිරීම සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් පසුවය.
මාර්තු 24 වනදා රැස්වුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව පොලිස්පතිවරයෙකු පත්කිරීම ගැන සාකච්ඡාවක් සිදුනොවූ බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් මාධ්‍ය වෙත දන්වා තිබේ.
 පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීමේ කටයුත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයත් කාර්යයක් නොවන අතර එය ජනපතිවරයා විසින් සිදු කරනු ලබන්නකි. ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් ජනපති පිරිනමා තිබේ.ඒ අනුව ඔහු ලබන ජුනි 25 දක්වා තවදුරටත් පොලිස්පති ධූරයේ කටයුතු කරනු ඇත.