අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට හඳුන්වා දෙමින් යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු නිවසේ තිබූ රුපියල් ලක්ෂ 45 කට අධික වටිනා රන් බඩු තොගයක් සොරාගෙන ගොස් ඇතැයි කෝපායි පොලිසිය පවසයි. දකුණු කෝපායි ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ වයස අවුරුදු 80ක පමණ වයෝවෘද්ධ කාන්තාවක තනිවම ජීවත් වී ඇතැයි ද පොලීසිය කියයි.
මෙම නිවසට පෙරේදා (27) දහවල් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනකු ගෙහිමි කාන්තාව සමග සුහදව කතා කරමින් සිටින අතරතුර නිවසේ ආරක්ෂාවට සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවි කිරීමටද යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි. ඒ සඳහා නිවස පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා සැකකරුවන් නිවස තුළට ඇතුළු වී ඇති බවද පොලිසිය පවසයි. සී.සී.ටී.වී. කැමරා සවිකිරීම සඳහා නිවස පරික්ෂා කිරීමට පැමිණ ඇති මොවුන් නිවසේ ඇති රන්බඩු සුරක්ෂිතව එකම ස්ථානයක තබන ලෙසට ගෙහිමි කාන්තාවට දැනුම් දී ඇති බව පොලිසිය කියයි.
සැකකරුවන්ගේ කීම පිළිගෙන ගෙහිමි කාන්තාව නිවසේ තිබූ රන් බඩු සියල්ල ප්ලාස්ටික් බාල්දියකට දමා ඇති බවත්, සැකකරුවන් දෙදෙනා එම රන් බඩු සහිත බාල්දිය සොරාගෙන රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාව කෝපායි පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. සිද්ධියේ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments