cpc-chairman-speaks

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස්  පවසන්නේ ඇතිවූ බාධා හා ප්‍රමාද ක්‍රියාවලියෙන් පසු මේ වනවිට සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුකරමින් පවතින බවයි.
තෙල් බවුසර් 50ක් පමණ කොලොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට මේ වනවිට කටයුතු යොදා ඇති  බවත් ලංකා අයිඕසී සමාගම, මෙම තත්ත්වය හමුවේ උපරිමයෙන් තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් ඔහු කීය.


ත්‍රීකුණාමලයේ පිහිටි සිය ගබඩා පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ද උපරිමයෙන් ක්‍රියාත්මක කර ඇති අතර දිවයින තුළ ඉන්ධන හිගයක් ඇතිනොවන පරිදි අයිඕසී ඉන්ධන පිරවුම්හල් වලද උපරිම ධාරිතාවයෙන් සේවා ලබාදෙන ලෙස උපදෙස් ලබා දී ඇති බව ද ඔහු කීය.

වර්ජන හා බාධාකාරීම් නිසා ඇතැම් කොටසක් පමණක් කඩාකප්පල්කාරී හැසිරීමක නිරතවන බවත් සෙසු සේවකයන්ගේ රාජකාරියට බාධා කළ වෘත්තීය සමිති නායකයන් සහ ඔවුන්ට සහාය දුන් අය අනිවාර්ය නිවාඩු යවන බවත් සභාපති කියයි.

ඉන්ධන බෙදා හැරීම කඩාකප්පල් කිරීමට හේතු වූ කඩාකප්පල්කාරී ක්‍රියාවට සහය දුන් තම සහෝදර සේවකයන්ගේ රාජකාරියට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ට අනිවාර්ය නිවාඩු නම් කරන ලෙස සභාපතිවරයා අනතුරු අඟවා තිබේ.


ඔහු ඊයේ පළ කළ නිවේදනයකින්ද ඇඟවූයේ තම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දුන් අනෙකුත් කම්කරුවන් ඇතුළු වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යවන බවයි.

ඊයේ (28) සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත (CPSTL) ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රය මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වූවන් සඳහා තහනම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර සෙසු සේවකයන්ගෙන් ඔවුනගෙන් ඈත්වන ලෙස ඉල්ලා ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.