ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලන ව්‍යුහයක් හඳුන්වාදීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පරිපාලකයන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ හමුවක් පෙරේදා (13දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීමට ඊට සහභාගි වූ හිටපු සභාපතිවරුන්ගේ අනුමැතිය හිමි විය. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා ආනා පුංචිහේවා, ෂම්මි සිල්වා, ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා, රියෙන්සි විජේතිලක, ඩී.එස්. ද සිල්වා සහ හේමක අමරසූරිය යන හිටපු සභාපතිවරු සහභාගි නොවීම සුවිශේෂීය.
මෙම හමුවේදී සුමතිපාල පාර්ශ්වය සහ රණතුංග පාර්ශ්වය ක්‍රිකට් දියුණුවට එකම මේසයකට පැමිණ සිටීම කාගේත් අවධානය දිනාගත් කරුණක් විය. කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වඩාත් කතාබහට ලක්වූ සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් නිලවරණයේ ඡන්ද තව තවත් අඩු කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයාට විවාදාත්මක යෝජනාවක් කිරීම සුව්ශේෂීය. ඊට හේතුව වනුයේ මේ ආකාරයෙන් අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක් ක්‍රිකට් නිලවරණයට (අනෙකුත් සභාපතිවරුන්ට සාපේක්ෂව) එකතු වී තිබුණේ ඔහුගේ පරිපාලන කාලය තුළදී වීමයි.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටුවීමෙන් පසු තේරී පත්වුණු සහ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල සඳහා තේරී පත්වුණු සභාපතිවරුන් සහ ලේකම්වරුන්ට ආරාධනා කර තිබිණි. පසුගිය වසරේ දෙසැම්බර් මස 14වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ක්‍රීඩා පනතේ සංශෝධන සහ නියෝග (මෙම සංශෝධන සඳහා මේ වනවිට අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත) සියල්ල මෙහිදී සාකච්ඡා කර ඇති අතර, එම නියෝග සියල්ල සඳහා හිටපු සභාපතිවරුන්ගේ කැමැත්ත ප්‍රකාශ කර තිබිණි.
මිලියන 22ක් පමණ වූ ජනතාව සඳහා සේවය සැපයීමේදී පුද්ගලයන් 20දෙනෙකු පමණ පෞද්ගලික හේතු මත අමනාප වීම ගැටලුවක් නොමැති බවත් ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ක්‍රීඩකයන් වෙනුවෙන් ගෙනයන මෙම ක්‍රියාදාමය වැළැක්විය නොහැකි බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම මුදල් බලය යොදවා බලයේ රැඳී සිටීමට යම් පාර්ශ්ව මේ තාක් කටයුතු කළද මින් ඉදිරියට එසේ සිදු නොවන බවත්, තම ධුර කාලයේදීම අනාගතයට ගැළපෙන වංචාවෙන්, දූෂණයෙන් තොර ක්‍රීඩා සංස්කෘතියක් රට තුළ ගොඩනැංවීමට හැකි උපරිමයෙන් කැපවන බවත් අමාත්‍යවරයා හිටපු නිලධාරීන්ට සහතික වී ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන්, අතුරු කමිටු සභාපතිවරුන් හා ලේකම්වරුන් වන අර්ජුන රණතුංග, තිලංග සුමතිපාල, නිශාන්ත රණතුංග, උපාලි ධර්මදාස, කේ. මතිවානන්, අධිල් හසීම්, කුෂිල් ගුණසේකර, කමල් පත්මසිරි (ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධරයා ලෙස කටයුතු කළේය) යන මහත්වරු සහභාගි වූහ.
පැතූම් ශ්‍රී විජේරත්න
0 Comments