දෙමටගොඩ නගරයේ ප්රසිද්ධ වෙළෙඳසලකින් කිරිපිටි පැකට් දහසකට ආසන්න ප්රමාණයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවකයන් තිදෙනකු ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි. සැකකරුවන් මාස 3ක පමණ කාලයක සිට දිනකට පැකට් 8-15 අතර ප්රමාණයක් වශයෙන් සොරාගෙන ගොස් ඇති බවත් මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 14කට ආසන්න බවත් පොලිසිය සඳහන් කරයි. මෙම වෙළෙඳසලේ දෛනිකව එකතු වන කසළ බෑග්වල අසුරා රාත්රී කාලයේ සේවකයන් විසින් වෙළෙඳ සල ඉදිරියේ තබන බවත්, සැකකරුවන් එම කසළ මලු අතර කිරිපිටි පැකට් සහිත මල්ලක්ද සඟවා වෙළෙඳසලෙන් කිරිපිටි පැකට් පිටමං කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
දෙමටගොඩ වේළුවන පාරේ පදිංචි පුද්ගලයකු අඩු මිලට කිරිපිටි පැකට් අලෙවි කරන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම පුද්ගලයාගෙන් ප්රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළි කරගෙන තිබේ. වෙළෙඳසල් සේවකයන් විසින් කසළ මලු සමග කිරිපිටි පැකට්ද පොලිතින් මල්ලකට දමා රැගෙනවිත් කසළ ලෙස වෙළෙඳසල ඉදිරියේ තබා ඒ ගැන දෙමටගොඩ පදිංචි පුද්ගලයාට දුරකථනයෙන් දැනුම් දීමෙන් අනතුරුව ඔහු ත්රිරෝද රථයෙන් එම ස්ථානයට යොස් කිරිපිටි සහිත බෑගය රැගෙන යන බවට ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. මේ ආකාරයෙන් මාස තුනකට ආසන්න කාලයක් මොවුන් මෙම සොරකම සිදුකර ඇති බවත් පොලිසිය මෙම සොරකම අනාවරණය කරගන්නා තෙක්ම වෙළෙඳසල් හිමියන් ඒ බව දැන සිට නොමැති බවත් පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් ආගරපතන ප්රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.
ඉන්දිකා රාමනායක
0 Comments