dengue-information

මට උණ. තද හිසරදයකුත් තියෙනව, ඇගපත කැක්කුමයි. බයේ ද බැහැ. ඩෙංගු උණ වෙන්න පුළුවන්ද?
වෙන්නත් පුළුවනි. හරියටම රෝග විනිශ්චය කිරීමට නම් තවත් තොරතුරු දැනගැනීම අවශ්‍යයි. ඒ වගේම රෝගියා පරික්ෂා කිරීමත් අවශ්‍යයි.

මොනවද තවත් අවශ්‍ය තොරතුරු ?

ඩෙංගු කියන්නේ ශීඝ්‍රයෙන් එකවර මුළු ලංකාව පුරාම පැතිර යන රෝගයක් නොවෙයි. එය පැතිරෙන්නේ ප්‍රදේශගතවයි. ෆ්ලේවි වයිරස් (Flave Virus) කාණ්ඩයට අයත් වයිරසයක් තමයි රෝග කාරකය. එම වයිරසය අපගේ සිරුරට ඇතුල් කරන රෝග වාහකයන් ඊඩීස් (Aedes) කාණ්ඩයට අයත් මදුරු විශේෂයන්. උන් බොහෝ වෙලාවට (දෂ්ඨ කරනේ) දහවල් කාලයේදීයි. ඔය වත්තේ කුණු ගොඩවල තියෙන වතුර පිරවූ පොල් කටු, පොල් කෝම්බ, වළං කෑලි, පරණ ටයර්, ගේ ඇතුලේ තියෙන වතුර පිරවූ මල් පෝච්චි, කුහුඹින් එනවාට මේ කකුල්වලට තැබූ වතුර පිර වූ බඳුන් වැනි දේවල තමයි ඒ මදුරුවා බිත්තර දාලා බෝ වෙන්නේ. වියලී ගිය දිය බඳුන්වල වුවත් බිත්තරවලට කලක් නොමැරි ජීවත් වෙන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයේ දැනටමත් ඩෙංගු උණ පැතිර යා නම් සහ ඔබ ප්‍රදේශයේ මා ඉහත කී ආකාරයේ මදුරුවන් සිටී නම් ඔබට වැළදී ඇත්තේ ඩෙංගු උණ දැයි පරික්ෂා කර දැන ගැනීම වැදගත්.

ඩෙංගු උණ හැදුණම ඇතිවන රෝග ලක්ෂණ ඔක්කොම ටික කියන්න බලන්න?

වයිරසය ශරීරයට ඇතුළු වෙලා දින 5කින් පමණ උණ මතු වෙනවා. බොහෝ විට එය එකවර ඇඟ වෙවුලලා මතුවෙන උණක්. ඇඟට පණ නැති ගතිය, තද හිසරදය, ඇස් යට කැක්කුම, විශේෂයෙන් ඇස එහේ මෙහේ කරකවන විට හට ගන්නා තද වේදනාව, කොන්දේ කැක්කුම ප්‍රධාන රෝග ලක්ෂණ හැටියට හඳුන්වන්න පුළුවන්.  

මීට අමතරව රෝගියා පරික්ෂා කිරිමේදී සිරුරෙහි වසා ගැටිති ඉදිමී ඇති බවත්, හමෙහි රතුවන් පලු (බිබිලි නොවේ) මතු වී ඇති බවත් පෙනෙනවා. පළමුවෙන් අත් පා වල හට ගන්නා රතුවන් පලු කඳ ප්‍රදේශයට ක්‍රමයෙන් පැතිරෙයි. මුඛය හැර බැලූ විට උඩු තල්ලේ රතුවන් ලප (Petechiae) ද වෛද්‍යවරයා හදුනා ගනීවි. කැස්ස, ඩෙංගු උණ රෝගය සමග සාමාන්‍යයෙන් මතුවන්නේ නැත. දින 3 - 4 ක දී උණ බැස යන අතර නැවතත් දිනකින් හෝ දෙකකින් මා කළින් සඳහන් කළ සියලුම රෝග ලක්ෂණ, විශේෂයෙන්, උණ, හිසරදය සහ රතු පැහැ ලප නැවත මතු විය හැකියි. ඇඟෙහි වේදනාව, ඈලි මෑලි දුබල ගතිය සහ කිසිවක් කිරීමට එපාවූ ගතිය (Depression) බොහෝ විට උණ බැස සති කිහිපයක් යනතුරුත් තිබිය හැකියි.

එතකොට මොකක්ද මේ ලේ වමනය වෙන ඩෙංගු රක්තපාත උණ කියන්නේ ?

ඒකත් ඩෙංගු උණෙම තවත් ආකාරයක්. භයානක තත්ත්වයක්. විවිධ ඩෙංගු වයිරස් ප්‍රභේදයන්ගෙන් ඇති කරවන ඩෙංගු උණ පිට පිටම දෙතුන් වරක් ඇතිවීමෙන් ඩෙංගු රක්තපාත උණ ඇතිවේ යයි විශ්වාස කරනවා. අග්නිදිග ආසියාවේ පමණක් දක්නට ලැබෙන ඩෙංගු රක්තපාත උණ හෙවත් Dengue Haemorrhagic Fever (DHF) වැඩිපුරම වැළදෙන්නේ කුඩා දරුවන්ට සහ ළදරුවන්ටය.

කියන්න බලන්න ඩෙංගු රක්තපාත උණ හඳුනා ගන්නේ කොහොමද කියල?

මෙහිදී පළමුවෙන්ම උණ සහ හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ මතු වෙනවා. පසුව එක්වර උණ වැඩිවී හුස්ම ගැනීමේ අපහසුව, වමනය, ඔක්කාරය සහ බඩේ කැක්කුමද ඇති වන්නට පුළුවනි. දින 6 ක්ම ණ යන විට රෝගියා කම්පනයට පත්වී නහයෙන් සහ කණෙන් ලේ ගැලීමත් හම තුළ ලේ ඉහිරී යෑමත්, ලේ වමනය කිරීමත් (කෝපි පැහැයට) සිදුවෙනවා. මෙම කම්පන තත්වය හඳුන්වන්නේ Dengus Shock Syndrome නමිනි. රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලිය දුර්වල වීමේ හේතුවෙන් ලේ ගැලීම සිදුවෙනවා. රුධිර ප්ලස්මාව රුධිර නාල තුළින් පිටත පටක වලට ගලා යාමෙන් රෝහියා කම්පනයට පත්වී නාඩි දුර්වල වෙනවා. ඇඟ සුදුමැලි හෝ නිල්වන් පැහැය ගන්නට පුළුවනි. අත්පා ශීතල වුවත් කදෙහි රස්න ගතිය රැදී තිබෙනවා. සමහර අයට නියුමෝනියාව හෝ හෘද පටකයේ ආසාදනය (Myocarditis) ඇති වෙයි. ඩෙංගු රක්තපාත උණ නිසා කම්පනයට පත්වූ රෝගීන්ගෙන් 10% - 30% අතර ප්‍රමාණයක් මිය යා හැකියි. වැඩිපුර මිය යන්නේ අවුරුද්දට අඩු කුඩා ළදරුවන්.

ඇයි මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙන අවදියකදීත් ඩෙංගු රක්තපාත උණ නිසා හට ගන්නා කම්පනයෙන් සියයට 30% ක් පමණ මිය යන්නේ? හරි ප්‍රතිකාරයක් නැද්ද?

නැහැනේ. ඒකනේ ප්‍රශ්න. වයිරසයට විරුද්ධව ප්‍රතිජීවක ඖෂධ තවම සොයාගෙන නැහැ. අනික ඩෙංගු උණ වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණ වැක්සීනයක්ද තවම සොයාගෙන නැහැ. ඒ නිසා ඩෙංගු රෝගයට් විශේෂිත ඖෂධ ප්‍රතිකාරයක් නැහැ.
වෛද්‍යවරුන්ට කළ හැක්කේ සිරුරෙන්ම රෝගය සුව වන තුරු ඇතිවන අනතුරුවලින් ගැලවීමට ප්‍රතිකාර මගින් උදව් කිරීම පමණයි.

ප්‍රතිකාර ලෙස කරන්නේ මොනවාද?

ප්‍රධාන වශයෙන් කරන්නේ රෝගයට වඩා රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරිම. ඇදෙහි විවේකය අත්‍යවශ්‍යයි. මොනම හේතුවකටවත් ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ රෝගියාට ලබා නොදිය යුතුයි. එමඟින් සිරුරේ රුධිර වහනය වැඩි වී රෝගී තත්ත්වය උත්සන්න වෙන්නට පුළුවනි. පැරසිටමෝල් අඩංගු ඖෂධ උණ සහ වේදනාවට ලබා දුන්නාට වරදක් නැහැ. රෝගියා රෝහලට ඇතුලු කළ පසු
සේලයින් 5% ඩෙක්ස්ට්‍රෝස් වැනි දේ ලබා දීමට සිදු වෙනවා. ඒවා වැඩිපුර දීමත් ශරීරයට අහිතකරයි. අධික ලෙස රුධිර වහනය සහ කම්පනයට පත්වී සිටින අයට කල්ගත නොවූ රුධිර ප්ලස්මාව සහ රුධිර පට්ටිකා සහිත අලුත් රුධිරය ශිරාගත කරනු ලබනව.

රෝගය හඳුනා ගැනීමට කරන පරික්ෂණාගාර පරික්ෂණ ගැන යමක් කියන්න පුළුවන්ද?

රෝගී රුධිරයේ ඇති රුධිර පට්ටිකා ප්‍රමාණය (Platelet Count) කියුබික් මි.මි. 100,000 ට අඩු නම් හෝ PCV හෙවත් Pack Cell Volume 10% - 20% ට වඩා වැඩි වූ විට ඩෙංගු උණ වැළඳී ඇතැයි සැක කරනු ලැබෙනවා. රුධිර සාම්පලය පරීක්ෂා කිරීමෙන් වයිරසය හෝ වයිරසයට විරුද්ධව රුධිරයේ නිපදවෙන ප්‍රතිදේහ හඳුනාගත හැකියි.

ඩෙංගු උණ වරක් හැදුණොත් නැවතත් හැදෙන්න පුළුවන්ද?

ඔව්, ඩෙංගු වයිරස් විශේෂ හතරක් තිබෙනවා. එක් විශේෂයක් නිසා ඇතිව ආසාදනයෙන් අනෙක් විශේෂ සඳහා ප්‍රතිශක්තියක් ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා ඩෙංගු රෝගය නැවත නැවත හැදෙන්න පුළුවනි.

ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ සුව කිරීමට විශේෂිත වූ ඖෂධ සොයාගෙන නැති බව කීවා. කළ හැක්කේ වළක්වා ගැනීම පමණයි. ඒ සඳහා සාමාන්‍ය ජනතාව අනුගමනය කළ යුතු වත්පිළිවෙත් මොනවාද?

නිවසේ සහ නිවස අවට මදුරුවන් බෝක්වෙන ස්ථාන ඉවත් කරන්න. විනාශ කර දමන්න. මල් බඳුන්වල වතුර නිතර නිතර මාරු කරන්න. දිය කඩිතිවල මසුන් නැත්නම් මිරිදිය මසුන් ඒවාට දමන්න.  මදුරු දෂ්ඨනයෙන් බේරීමට මදුරු දැල් භාවිතා කරන්න. මදුරු කරදරය අධික නම් මදුරු දගර භාවිතා කළ හැක. ඩෙංගු උණ පවතින ප්‍රදේශවල සිටින අය උණක් හටගත් විට ඇක්සින් අඩංගු ඖෂධ ගැනීමෙන් වළකින්න. ඒ වෙනුවට පැරසිටමෝල් අඩංගු ඖෂධ ලබාගත හැක.  ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ මතු වන්නේ නම් ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත රෝගියා කැටුව යන්න.  ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීම අප සමාජයේ පොදු වගකීමයි. ඒ සඳහා මහජන සෞඛ්‍යා පරීකෙවණැල්ලබාදෙන උපදෙස් පිළිපදින්න. ඩෙංගු මර්දනය සඳහා ඔවුන්ට සහාය වෙන්න.

(වෛද්‍ය ආරියසේන යූ ගමගේ ලියූ ලිපියක උපුටනයකි)