dollar-change

රාජකාරි විදේශ ගමත් සඳහා විනිමය මුදාහැරීම හා ඒ ආශ්‍රිත වියදම් එළඹෙන 20 වැනිදා සිට සීමා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව, අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාළව විදෙස්ගත වීමේදී මෙතෙක් ගෙවන ලද එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා වූ අනියම් දීමනාව ඇමෙරිකානු ඩොලර් 25 දක්වා අඩු කොට දින 15ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබේ.



එමෙන්ම නිල දූත කාර්යයන් හෝ වෙනත් විදෙස් රාජකාරී කටයුත්තක් සදහා රජය නියෝජනය කරමින් විදෙස්ගත වීමේදී එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 75 බැගින් උපරිම දින 15ක් සඳහා මෙතෙක් ගෙවන ලද දීමනාවද ඇමෙරිකානු ඩොලර් 40ක් දක්වා අඩු කොට දින 10ක් දක්වා සීමා කිරීමටද පියවර ගෙන ඇත. මීට අමතරව සංයුක්ත දීමනා ගෙවීමේදී රටවල් කාණ්ඩ පහක් යටතේ පළමු හා දෙවැනි ගණය යටතේ ගෙවීම් සිදු කළ සියලු දීමනා 30%කින් අඩු කිරීමටද තීරණය කර තිබේ. එමෙන්ම මෙම සීමා කිරීම් අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්, මහ නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කෙරෙහිද බලපාන බවද වාර්තා වේ.



මීට අමතරව නිල සංචාරයකදී දූත පිරිසට නායකත්වය දෙන  අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිමිවන ඇමෙරිකානු ඩොලර් 750ක සංග්‍රහ දීමනාවද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පියවර ගෙන ඇත. මෙරටින් ගලායන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට මෙමගින් අපේක්ෂා කෙරෙන බවද සඳහන් වෙයි.

 සමිත් බෝධිපක්ෂ