donkey-face-police

විදේශත වීම සදහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට පත්ව ගුවන්තොටුපොළ පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි වෙඩික්කරුවෙක් වන “බූරුමූණා” නමැත්තා ගුවන්තොටුපොළ පොලිසියේ සිට මෝටර් රථයකින් රැගෙන ගොස් සිටි කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා ඇතුලු සැකකරුවන් සිවුදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. දැනට ඩුබායි රාජ්‍යයේ වෙසෙන “වරුණ” නැමැත්තා විසින් කටුවැල්ලේ සුරේෂ් නැමැත්තාට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඔහු බූරුමූණා නැමැත්තා ඉකුත් (24) දින ගුවන්තොටුපොළ පොලිසියේ සිට මෝටර් රථයක නංවාගෙන ඉවතට රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.



සිද්ධිය වූ දින සිට දින දෙකක් මීගමුව අවට රඳවාගෙන සිටි බූරුමූණා නමැත්තා මීගමුවේ සිට කුරුණෑගල දක්වා රැගෙන යාම සඳහා භාවිත කළ මෝටර් රථ ක් පොලිසිය සොයාගෙන ඇත. බූරුමූණා නමැත්තා ඉකුත් දා 24 දින ගුවන්තොටු පොළ පොලිසියේ සිට පිටතට පැමිණෙන අවස්ථාවේ සුරේෂ් නමැත්තා දිවුලපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් මෝටර් රථයක් ලබාගෙන තවත් සැකකරුවන් තිදෙනකු සමග ගුවන්තොටුපොළ පොලිසිය වෙත පැමිණ බූරුමූණා නැමැත්තා මෝටර් රථයේ නංවාගෙන ඉවතට රැගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ඔවුන් එම සැකකරු දින දෙකක් පුරා මීගමුවේ හෝටලයක රඳවාගෙන සිට පසුව පසුව 26 දින තවත් මෝටර් රථයක නංවාගෙන කුරුණෑගල දඹුල්ල පාරේ කොස්කැලේ රක්ෂිතයේ වෙත රැගෙන ගොස් වෙනත් මෝටර් රථයකට බාර දී ඇති බවද පොලිසිය පවසයි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙළි කරගත්  තොරතුරු අනුව කටුවැල්ලේ සුරේෂ් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් හෙළි වූ තොරතුරු අනුව සෙසු සැකකරුවන් තිදෙනා මිනුවන්ගොඩ, මීගමුව ආදී ප්‍රදේශ වලින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

හංවැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුලු ඝාතන 9 ක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි බූරුමූණාට විදේශ ගතවීමට පෙර දින කිහිපයක් නිවසේ රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් නාවික භටයෙක් හා ඔහුගේ බිරිය විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් ඉකුත් (5) දින නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
(ඉන්දිකා රාමනායක)