egg-production

වසරක කාලයක් තුළදී දෛනික බිත්තර නිෂ්පාදන ලක්‍ෂ 85 සිට ලක්‍ෂ 30 දක්වා එනම් ලක්ෂ 55කින් මේ වනවිට අඩු වී තිඛෙන බවත්, එහෙත් කර්මාන්තය දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් බලධාරීන්ට සකස් කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් ජාතික සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.  මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් අලුත් අවුරුදු සමයේදී විශාල බිත්තර හිගයකට මුහුණදීමට සිදුවන බවත්, මෙම අනතුර ඇති වී තිබියදීත් රටින් බිත්තර ගෙන්වීමට තවදුරටත් බලධාරීන් උත්සාහ කරමින් සිටින බවත් එම සංගමයේ සභාපති සුජීව ධම්මික මහතා පැවසීය. රටින් ගෙන්වන බිත්තරවල සෞඛ්‍ය ආරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලු ඇති වී තිබියදීත් සමහර බලධාරීන් තවදුරටත් උත්සාහ කරමින් සිටිනේ, රටින් බිත්තර ගෙන්වීමට බවත්, පවතින අර්බුදය තුළ දේශීය බිත්තර කර්මාන්තය විනාශ වී යාම පිළිබඳ  බලධාරීන් අවධානය යොමු නොකරන බවත් හෙතෙම පවසා සිටියේය.



දේශීය බඩඉරිඟු ගොවීන්ගේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, මෙම අස්වැන්න කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වී මිලදී ගෙන බිත්තර නිෂ්පාදකයන්ට බෙදාදෙන බවට බලධාරින් පොරොන්දු වුවත්, මෙතෙක් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.  මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ගොවීන්ගෙන් අඩු මිලට බඩ ඉරිගු ලබා ගනිමින් තොග රැස් කරමින් තිබෙන බවට වාර්තා වන බවත්, කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර ගොවිපොළ හිමියන්ට බඩඉරිඟු තොග ලබාගෙන ගබඩා කර ගැනීමට වත්කමක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය. කිකිළියන්ට ලබාදෙන ආහාර වර්ගවල හා ඖෂධවල මිල අධික ලෙස ඉහළ යාම නිසා හා මවු සතුන්ගේ මිල අධික ලෙස ඉහළ යාම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර ගොවිපොළවලින් අතිබහුතරයක් මේ වනවිට වැසී ගොස් තිබෙන බවද සභාපතිවරයා පැවසීය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී  දෛනිකව බිත්තර ලක්‍ෂ 80ත් ලක්‍ෂ 85ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය වූ බවත්,

මෙම බිත්තර ප්‍රමාණය දෛනිකව අලෙවි වූ නමුත්, කුඩා හා මධ්‍ය පරිමාණ  බිත්තර නිෂ්පාදනය ගොවිපොළවල් වැසී යාම නිසා මේ වනවිට දෛනිකව නිෂ්පාදනය වන්නේ, බිත්තර ලක්‍ෂ 30කට ආසන්න ප්‍රමාණයක් බවත් හෙතෙම පවසා සිටියේය.  එසේම බිත්තර මිල ඉහළ යාම නිසා දෛනික බිත්තර ඉල්ලුම ලක්‍ෂ 80 සිට ලක්‍ෂ 35ත් 40ත් අතර ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙන බවත්, ඉල්ලුම් අඩු වුවත්, එම ඉල්ලුමටවත් සැපයුම් නොලැබෙන බැවින් ඇතැම් ප්‍රදේශවල බිත්තර හිඟයක් ඇති වී තිබෙන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පවතින ආහාර හා ඖෂධ ප්‍රශ්නයට විසඳුම් නොලැබුණහොත් අලුත් අවුරුදු සමය වනවිට බිත්තර අත්‍යවශ්‍යම දෙයකට පමණක් භාවිත කරන භාණ්ඩයක් බවට පත් විය හැකි බවද හෙතෙම පැවසීය. මෙම ගැටලුව විසඳීමට තිබෙන විසඳුම රටින් බිත්තර ගෙන්වීමට උත්සාහ කිරීම නොවන බවත්, සිදුකළ යුතු වන්නේ, ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක වූ කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් නැවත නගාසිටුවීමට අවශ්‍ය සහාය ලබාදීම බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 ඉන්දික හේවාවිතාරණ