election-attack

ඡන්දය ඉල්ලාගෙන ආ අපේක්‍ෂකයකු වත්ත ඇතුළට ගැනීම ගැන දොස් පවරමින් සිය බිරියට පහර දුන්  සැමියකු පිළිබඳව පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයකින් මෙවර පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වී සිටින ව්‍යාපාරිකයෙකි. මොහු ප්‍රදේශයේ වැඩිදෙනෙක් දන්නා අයෙකි. සිය කොට්ඨාසයේ එක්තරා නිවසකට ඡන්දය ඉල්ලාගෙන මොනු ගොස් තිබේ. ඒ වනවිට නිවෙස් හිමියා පදමට සුර්වී සිටියේය. තමා මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින බවත් තමාට ඡන්දය ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

"තමුසෙට නම් අපේ ගෙදරින් එක ජන්දයක්වත් ලැබෙන් නැහැ.

තමුසේ ගමට කරපු සේවය මොකක්ද? මින් පස්සෙ ඡන්දය ඉල්ලගෙන විතරක් අපේ ගෙදරට එන්න එපා" යැයි කියමින් එළවා ගත්තේය. බීමත්ව සිටි අය කියූ දේ නිසා මෙසේ බැණ වැදුණ ද ඒ ගැන තැකීමක් නොවූ අපේක්‍ෂකයා ඊටම පසුදින උදේම පෙර කී නිවෙසට ගියේය.

මම ආයෙත් ආවා. ඔයා ඒ වෙලාවේ ටිකක් මත්වෙලා හිටියේ. මට දොස් පවා කිව්වා. ඒවා මම ගණන් ගත්තෙ නැහැ. ඔයා ඉතින් අපේ පැරණි හිතවතානෙ මිත්‍රයානෙ, නෑයානෙ, ඒ නිසයි අදත් මම ජන්ද ඉල්ලාගෙන ආවේ 'යි අපේක්‍ෂකයා කීය.

මම ඊයේ බීල තමයි හිටියේ. ඒ වුණාට හොඳ  සිහියෙන් සිටියේ. මම තමුසෙට ඡන්දෙ දෙන්නෙ නැහැ. කියලා කිව්ව එක වෙනසක් නැහැ. හොද හිතින් බැහැල ගියොත් හොදයි. නැත්නම් මම නරක මිනිකා කියලා කියන්න එපා.” ගෙහිමියා නැවතත් දොස් පවරමින් ඔහු එළවා දැමීමට උත්සාහ කළද අපේක්‍ෂකයා යන බවක් නම් පෙනෙන්නට නොවිය.



හොඳ වැඩක් කරන්නම් යැයි සිතූ ගෙහිමියා සිය බිරියට කතා කොට අපේක්‍ෂකයා ඉදිරියට කැඳවා ගත්තේය. ඒ අසල තිබුණේ පොල් ඉරටු ඉලපතකි. එය අතට ගත් ගෙහිමියා '' තොට මම කියල තියෙනවා නේද ඡන්ද ඉල්ලගෙන එන එක එකා වත්තට ගන්න එපා කියලා. තෝ  මොකද මේ ඡන්ද ඉල්ලගෙන ආපු මේකා ඇතුළට ගත්තේ. යැයි හොද හැටි දොස් පවරමින් අපේක්‍ෂකයා ඉදිරියේම සිය බිරියට ඉලපතෙක් පහර දෙන්නට විය. ඒ ආරවුල අතරමග අපේක්‍ෂකයා දිව ගිය අතර නැවත නොඑන්නම නොපෙනී ගියේය.