fake-visa-australia

කූට ලෙස සකස් කළ ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රේලියාව වෙත පලා යෑමට තැත් කළ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (27දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාර්න් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බංගලාදේශ ජාතික 24 සහ 50 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් ඊයේ අලුයම අදාළ පුද්ගලයන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත සිය ලියකියවිලි ඉදිර්පත් කිරීමේදී, ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි යොදා තිබූ වීසා බලපත්‍ර අනීතිකව ගලවා ඉවත් කර ඇති බව එහි සේවය කළ නිලධාර්වරයාට නික්‍ෂණය වී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනා  ගුවන්තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරිවරයා වෙත යොමු කිරීමට එම නිලධාරිවරයා පියවර ගෙන තිබූ අතර, ඔහු අදාළ බංග්ලාදේශ ජාතිකයන්  දෙදෙනා සමග ඔවුන් ඉදිරිපත් කළ ලියකියවිලි, දේශසීමා ආවේක්‍ෂණ ඒකකයේ නිලධාරින් වෙත යොමු කිරිමට පියවර ගෙන තිබේ.

එහිදී එම නිලධාරින්, මොවුන්ගේ ගමන් මලු පරික්‍ෂා කිරීමේදී ඒවා තුළ තිබී ඔවුන්ගේ ජංගම දුරකථන සොයාගෙන තිබූ අතර, ඒවායේ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල අලවා තිබූ කූට ලෙස සකස් කළ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍ර දෙකෙහි ඡායාරූප සොයාගෙන තිබිණි.  තවදුරටත් එම ගමන් මලු පක්‍ෂා කර බලද්දී , ඒවා තුළ සුළු මොහොතක පෙර ගලවා ඉවත් කර තිබූ ව්‍යාජ වීසා බලපත්‍ර දෙකක්, කූට ලෙස සකස් කළ ඉලෙක්ට්‍රොනික වීසා බලපත්‍ර දෙකක් සොයාගෙන තිබිණි.

මෙම වීසා බලපත්‍ර ඇලවීම  සහ ගැලවීම බංග්ලාදේශ  තැරැව්කරුවෙකුගේ උපදෙස් මත තමන් සිදුකළ බවත්, තමන් මෙසේ රටවල් කිහිපයක් ඔස්සේ ගමන් කර යළිත් බංග්ලාදේශයට පැමිණීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව වෙත යෑමට අවශ්‍ය වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර ලබාදෙන බවත්, ඒ සඳහා එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 10ක මුදලක් වශයෙන් රුපියල් ලක්‍ෂ 20ක මුදලක් මෙම බංග්ලාදේශ තැරැව්කරුට ලබාදීමට එකඟ වී ඇති බවද ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාර්න් හමුවේ පවසා ඇත.



මෙම අත්අඩංගුවට ගැනීම සහ  මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු  ප්‍රධාන ආගමන විගමන නිලධාරී එස්. එල්. ජූනයින් මහතාගේ උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ ආගමන විගමන නිලධාර්න් වන එම්.එම්.එස්.එන්. ගුණසේකර සහ එල්.ජී.එන්. ප්‍රියංකර යන නිලධාරී මහත්වරු විසින් සිදුකර තිබේ. එසේම මෙම බංග්ලාදේශ ජාතිකයන් සතු සියලුම ලියකියවිලි කූට ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට තහවුරු වීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනා බංග්ලාදේශයේ ඩකා නුවර වෙත පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරිවරුන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ. එහිදී ඔවුන්ගේ ගමන් මලු තුළ ශ්‍රී  ලංකාවේ සිට බංග්ලාදේශය වෙත එළඹෙන අප්‍රේල් 05වැනිදා පිටත්ව යාම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් තිබූ අතර, ඒවා උපයෝගී කර ගනිමින් ඔවුන් බංග්ලාදේශය වෙත රැගෙන යාමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරින් පියවර ගනිමින් සිටිති.
ටී.කේ.ජි. කපිල