'සුනඛයෙකු' යයි සිතා ඇති දැඩි කළ සතෙකු වසර 2ක කාලයකට පසු වළසෙකු යයි හඳුනාගත් පුවතක් චීනයෙන් වාර්තා වී තිබේ.
චීනයේ දුර බැහැර ප්‍රදේශයක් වන යුනාන් පළාතේ කුන්මිං හි වෙසෙන සු යුන් නම් තැනැත්තිය නිවාඩුවක් ගත කරන අතර 'ටිබෙට් මස්තිෆ්' වර්ගයේ බලු පැටියෙකු යැයි විශ්වාස කළ වලස් පැටවකු මිල දී ගෙන තිබුණි.
ටිබෙට් මස්තිෆ් යනු ඝන කළු සහ දුඹුරු පැහැති කබායක් ආකාරයේ රෝම සහිත විශාල සුනඛ විශේෂයකි. පිරිමි සතෙකුගේ බර රාත්තල් 150ක් පමණ විය හැකි යයි පැවසේ.
ඇය දිනපතා තම සුරතලාට පලතුරු පෙට්ටියක් සහ නූඩ්ල්ස් පෙට්ටි දෙකක් පමණ ආහාරයට ලබා දී ඇති අතර සුරතලාගේ අසීමිත ආහාර රුචිය නිසා ඇතැම්විට ඇය සත්වයාට පහර දී ඇති බවද වාර්තාවී තිබේ.
වසර දෙකකට පසු, සුරතලා රාත්තල් 250 කින් පමණ බරකින් සහ ප්‍රමාණයෙන් ක්‍රමක් ක්‍රමයෙන් විශාල වූ අතර කකුල් දෙකෙන් ඇවිදීමට පටන් ගෙන තිබී ඇත. අසාමාන්‍ය පෙනුම නිසා ඇය පවසා තිබෙන්නේ ඇයගේ සුරතලා ඇයට වලසෙකු මෙන් පෙනෙන්නට වූ බවය.
පසුව ඇය යුනාන් වනජීවී ගලවාගැනීම් බලධාරීන් වෙත පැමිණ මේ ගැන විමසා ඇත. එහිදී තම සුරතලා අවදානමට ලක්විය හැකි සත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇති ආසියාතික කළු වළසෙකු ලෙස සැලකෙන බවට තහවුරු කරගෙන ඇත.
සම්පූර්ණයෙන්ම වැඩුණු පිරිමි ආසියාතික වලසෙකුගේ (හිමාලයානු වලසා හෝ මූන් බෙයාර් ලෙසද හැඳින්වේ) බර රාත්තල් 400 දක්වා විය හැකි යයි කියැවේ.
වසර දෙකක කාලය පුරාම ඇගේ නිවසේ ජීවත් වූ මෙම වලසා යුනාන් වනජීවී ගලවාගැනීම් සඳහා ගෙන යාමට පෙර සන්සුන් කිරීමට සිදු වී ඇති බවද වාර්තා වී තිබෙයි. ඊට හේතු වී ඇත්තේ රැගෙන යාමට පැමිණි වනජීවී කාර්ය මණ්ඩලය මෙම වන සතා සමඟ කටයුතු කිරීමට බියක් දක්වූ නිසාය.
වලසා සිය නව නිවසේ නිරෝගී ජීවිතයක් ගත කරන බව දැන් වාර්තාවේ.
0 Comments