father-thriposha-story

මේ සිද්ධිය මීට ටික කලකට පෙර කොරෝනා උත්සන්නව පැවති කාලයේ එකකි.එම කාලයේදී සංචරණ  සීමා පනවා  තිබූ අතර නිවසින් බැහැරව යාමට අවසරයක් තිබිය යුතුවිය.
මේ සඳහා දරුවාගේ ත්‍රිපෝෂ කාඩ්පත රැගෙන මිතුරෙකු හමුවීමට ගිය අපූරු පියෙකු පිළිබදව දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වාර්තාවී තිබුනි.
සිද්ධිය මෙසේය.
වෘත්තියෙන් විදුලි කාර්මිකයකු වූ මෙම පුද්ගලයා දරුවන් කිහිප දෙනෙකු සිටින මැදිවිය ඉක්මවූ මත්පැන් පානයට ඇබ්බැහිවූ අයෙකුය. සති කිහිපයක් සංචරණ සීමා පනවා තිබූ නිසා නිවසට වී අපහසුවෙන් කල්ගත කරමින් සිටින විට නගරය සමීපයේ සිටින සිය මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුනේ තමන් නිවාඩු ලැබ නිවසට පැමිණි බවත් හැකි නම් නගරයට පැමිණෙන ලෙසත්ය.

සංචරණ සීමා නිසා මිතුරා හමුවීමට යාමට නොහැකිව කල්පනා කරමින් සිටින විට ගෙදර මේසය මත තිබූ තම දරුවාගේ ත්‍රිපෝෂ කාඩ්පත දුටු ඔහු බිරිඳටද නොකියාම එම කාඩ්පත රැගෙන යතුරු පැදියේ නැගී මිතුරා හමුවීමට ගොස් ඇත.

මිතුරා සමග සවස් වනතෙක් පදමට මදුවිත සප්පායම් වී පෙරළා නිවසට එන විටදී ආරක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වී ඇති අතර එහිදී සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක කුමන කරුණක් සඳහා යන්නේදැයි විමසා තිබේ. දරුවාට අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමට ෆාමසියට යන බව පැවසීම නිසා ඇතිවූ සැකය මත බෙහෙත් තුන්ඩුව පෙන්වන ලෙස ඔහුට පවසා ඇති අතර එවිට ඉනෙහි සඟවාගෙන තිබූ ත්‍රිපෝෂ කාඩ්පත පෙන්වා තිබේ. නිලධාරීන් එම කාඩ්පත පරීක්ෂා කිරීමේදී දින කිහිපයකට පෙර ත්‍රිපෝෂ ලබාගෙන ඇති බව එහි සඳහන් වීම නිසා හොරය එළිවිය.
නිලධාරීන් ඇසූ හරස් ප්‍රශ්න වලට ඔහුට උත්තර නැති විය. සංචරණ නීති කඩකිරීම හා බීමත්ව යතුරු පැදියක් ධාවනය කිරීමට එරෙහිව නීතිමය පියවර ගනු ලැබිණි.



තමන්ට සිදු වූ අලකලංචිය ගමේ අයගෙන් වසන් කරගැනීමට කෙතරම් උත්සාහ දැරුවද බිරිඳගේ දැඩි දෝෂාරෝපණය හා අඩ දබර නිසා දින කිහිපයක් යාමට පෙර කතාව ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබුණු අතර මග තොටේදී මෙම පුද්ගලයා දුටු විට ත්‍රිපෝෂ ගෙන ඒමට යනවා දැයි බොහෝ දෙනා විමසූ බව වාර්තා විය.

දෙනගම යසන්ත ආරියසේන