යාපනය හින්දු විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු පෙරේදා (13 වැනිදා) පාසලේ ගොඩනැගිල්ලක තුන්වැනි තට්ටුවෙන් බිමට පැනීමෙන් අසාධ්‍යව රෝහල්ගත කර ඇතැයි යාපනය පොලීසිය පවසයි. පාසල් සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි තට්ටුවේ සිට බිමට පැන ඇති අවස්ථාවේදී දෙවැනි තට්ටුවට ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් සිසුවාගේ ජීවිතය බේරි ඇත.
බිමට වැටුණු සිසුවා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට සිසු දරුවන් ඇතුළු ආචාර්ය මණ්ඩලය පියවර ගෙන ඇති අතර, සිසුවාගේ තත්ත්වය බරපතළ බවට රෝහල් වෛද්‍යවරු පවසති. මෙම සිසුවා සිය දිවි හානි කරගැනීමට තැත් කිරීමේ හේතුව නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර, සිසුවා ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී, දැඩි මානසික ආතතියකින් පෙළී සිටි බවට මවුපියන් පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි. පාසල් සිසුවා විසින් ලියන ලද පිටු 7කින් යුත් ලිපියක්ද සිසුවාගේ බෑගයේ තිබී හමු වී ඇති අතර, එහි ඇත්තේ අදාළ පරිගණක ක්‍රීඩාවේදී තමන්ට ලැබෙන අභියෝග සිදු කිරීමය. මේ හේතුවෙන් අදාළ සිසුවා ද තට්ටු ගොඩනැගිල්ලෙන් පැනීමට උත්සාහ ගත්තේ දැයි යන්න සැක සහිත බවට ද පොලීසිය වැඩිදුරටත් පැවැසීය.
රොමේෂ් මධුෂංඛ
0 Comments