රැඳවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සලිඳු මල්ශික ගුණරත්න නොහොත් “පානදුරේ කුඩු සලිඳු" යන අය විමර්ශන සඳහා ඔවුන් රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම්, මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ ආරක්ෂාව සහිතව දෑතට සහ පයට විලංගු දමා රැගෙන යන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (29) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව දැනට විමර්ශනය කරනු ලබන පොලිස් ඒකකය භාරව සිටින මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල මහතා භාරයේ එම සැකකරුවන් ආරක්ෂාව සහිතව විමර්ශන සඳහා රැගෙන යන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම සැකකරුවන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (29) අධිකරණයට ඉදිරිපත් කළේය.
තම සේවාදායකයන් දෙදෙනාගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි මොවුන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඉකුත් නඩු දිනයේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
මෙවන් ආකාරයට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි කොස්ගොඩ තාරක, මාකඳුරේ මදූෂ් සහ ටින්කර් ලසන්ත වැනි බොහෝ සැකකරුවන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් පූර්වාදර්ශ ඇති බැවින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කරන බවද නීතිඥවරු අධිකරණයට දැන්මු දුන්හ. මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඉකුත් 01 වැනිදා වන අතර එම සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන එනු ලැබුවේ ඉකුත් 15 වැනිදාය.
නිමන්ති රණසිංහ
0 Comments