මින් ඉහත පසුගිය ඔක්තෝබර් මාසයේ ඩුබායිහිදී හසුවී පසුව ලිපි ලේඛන ප්‍රමාදය නිසා ලංකාවට ගෙන්වාගන්නට බැරිව ඉබේම නිදහස හිමිකරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් මැඩගස්කරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේ දී නැවත අත්අඩංගුවට ගත් මැඩගස්කර ආරක්ෂක අංශ නිල වශයෙන් අද (08) දැනුම් දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සීසෙල්ස් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ බව දැනුම් දී තිබේ.
ඔවුන් පිරිස පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කර් ගුවන් තොටුපොළ පැමිණ සිට නැවත පිටව යාමට සුදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම පිරිස පෞද්ගලික ජෙට්යානයකින් මැඩගස්කරය වෙත පැමිණ එහි හෝටලයක නවාතැන් ගෙන සිට අධිසුඛෝපභෝගි මෝටර් රථ දෙකකින් ඉවුටෝ ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.
මොවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඒ අවස්ථාවේදී ය.


සැකකරුවන් මැඩගස්කර පොලිසියේ අපරාධ ඒකකයක රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කුඩු සලිඳු  සහ හරක්කටාගේ බිරිඳ සහ බිරිඳගේ පියා ද සිටින බව  කාර්යාංශය පවසයි.
එම අවස්ථාවේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටි හරක් කටා සතුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රුපියල් මිලියන 32ක් තිබූ බව සඳහන්ය.හරක් කටාගේ බිරිඳ ලෙස පෙනී සිටි විදේශ කාන්තාවක් සතුව මෙම මුදල් තොගය තිබී ඇත.
හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු අය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.
හරක් කටා සහ කුඩු සලිඳුට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය විසින් මීට පෙර ජාත්‍යන්තර පොලිසිය වෙත රතු වරෙන්තුවක් නිකුත් කර තිබූ  අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ එය මත බව පොලිසිය පවසයි.

මින් ඉහත 2022 වසරේ අගෝස්තු 11 වැනිදා ඩුබායි සිට මලයාසියාව බලා යෑමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී හරක්කටා ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඉන් මාස 2 කට පසු ඔක්තෝබර් 3 වනදා මුදාහැර තිබුණි.
ඔහුට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් වූ ගොනුව නිසි කලට මෙරටින් ඩුබායි බලධාරීන් වෙත ඉදිරිපත් නොකිරීම මෙම තීන්දුවට හේතුවී තිබුණි.


අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව තවදුරටත් එරට පොලිසියේ රඳවා ගැනීමට නම් ඩුබායි වෙත යොමු කළ යුතු අත්‍යවශ්‍ය ලිපි ගොනු කිහිපයක් තිබූ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමාදය හෝ කිසියම් කඩාකප්පල් කටයුත්තක් නිසා අදාළ ලිපි ගොනු එරටට යොමු කිරීම සිදුවූයේ නැත.
මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්ව ඇති මෙම අපරාධකාරයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් ඊට එරට රජයේ සහ පොලිසියේ සහාය ලබාගත යුතු බවත් ඊයේ පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසා තිබුණි.
පසුගිය කාලය පුරා මුහුදුමාර්ග ඔස්සේ හෙරොයින් ටොන් ගණනින් මෙරටට එවා තිබුණේ හරක් කටා නමැති අපරාධකරුය.

ඉකුත් 2022 මැයි 30 වැනිදා කොළඹ බැස්ටියන් මාවතේදී එල්ලවුණු වෙඩි ප්‍රහාරයත් සමඟ හිස එසවූ පාතාලයේ වෙඩි ප්‍රහාර රැසක්ම මෙහෙයවා තිබුණේ හරක් කටාය. හරක් කටාව ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පාතාලයේ තැන තැන සිදු වූ වෙඩි ප්‍රහාරවල යම් අඩු වීමක් දක්නට ලැබුණු අතර මත්කුඩු හිඟයක් ද රට පුරා ඇති වී තිබිණි. නමුත් ඔහු එකල මාස දෙකකින් නිදහස ලැබීම සමග නැවත ඒවා සක්‍රීය විය.