hirana-incident

ගොළු දැරියක ඉතා අමානුෂික ලෙස පහරදී මවගේ අනියම් සැමියා විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි හිරණ පොලිසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර හිරණ ලේක් විව්හි පදිංචිව සිටි බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ අධ්‍යාපනය ලැබූ පැල්පොලගේ රෝෂිණී කවිෂ්කා පෙරේරා නමැති 7 හැවිරිදි දැරියක බව පොලිසිය පවසයි.

දැරියගේ ශරීරයේ සෑම ස්ථානයකම තැලුම් තුවාල දක්නට ඇති අතර කටින් හැපූ බවට සැක කරන දත් පහරවල් සහිත තුවාලයක් පාදයක දක්නට ඇතැයි පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ දැරියගේ පියා හමුදා විශේෂ බළකායේ සෙබළකු වන අතර මව සහ දැරිය මීට වසර කිහිපයකට පෙර අත්හැර දමා ගොස් තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබිණි. අනතුරුව දැරියගේ මව දැරිය ජීවත් කරවීම. සඳහා යාචක වෘත්තියේ යෙදී ඇති අතර පසුව වෙළෙඳසලක සේවයට ගොස් සිටිය දී සැකකරු හා මිතුරු වූ බව එම කාන්තාවගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක පැවසුවාය.  මීට සති තුනකට පමණ ඉහත දී දැරියගේ මව සහ දැරිය සැකකරු විසින් මවගේ නිවෙසට කැඳවාගෙන පැමිණ ඇති අතර එදින සිට දැරියට අමානුෂික ලෙස පහර දී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ පහර කෑම හේතුවෙන් දැරිය රෝගී තත්වයෙන් දින කිහිපයක් තිස්සේ පසු වී ඇති අතර දැරිය රෝහල් ගත කිරීමට මව හෝ මිත්තණිය කිසිඳු උත්සාහයක් ගෙන නොතිබූ බව පොලිස් විමර්ශන වල දී අනාවරණය වී තිබේ.  දැරිය ඊයේ (7) උදෑසන සිට තත්ත්වයෙන් අසධ්‍ය පසුවී නිවෙසේ  කාමරයක බිම දමන ලද පැදුරක් මත  මිය ගොස් සිටි බව පොලිසිය කියයි.



දැරිය මිය ගොස් ඇති බව දැන ගත් සැකකරු නිවසෙන් පලා යාමේ දී හිරණ පොලිසියේ නිලධාරියකු විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීහු පරීක්ෂණ පැවැත් වූහ. මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට  නියමිතය. 29 හැවිරිදි  සැකකරු පානදුර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  කිරීමට ද නියමිතය.

සමන් කාරියවසම්