තියුණු ආයුධ ප්‍රහාරයකින් 35 හැවිරිදි අනියම් බිරිය බව පැවසෙන කාන්තාවක බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ශල්‍යකර්මයකට යොමු කොට මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. තුවාල ලැබූ 35 හැවිරිදි කාන්තාව පළමු විවාහයෙන් නීත්‍යනුකූලව ඉවත්වී මෙම සිද්ධියට සම්බන්ධ බව කියන මෙම පුද්ගලයා සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන යමින් හෝමාගම ප්‍රගති මාවතේ තාවකාලික බෝඩිමක වාසය කර ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවී ඇත.
ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ඇය පෙරේදා (12දා) නිවාඩු දිනයක් වූ බැවින් දිවා කාලයේ වෙනත් ස්ථානයකට ගොස් නැවත පැමිණීමේදී අනියම් සැමියා බව පැවසෙන පුද්ගලයා ඒ සම්බන්ධයෙන් විමසා බහින් බස්වීමක් සිදුව තිබෙන බව පොලිසිය කියයි.පසුව එය දුරදිග යාමත් සමග කාන්තාවට අතින් පහර දී ඇති අතර එක්වරම ඔහු සන්තකයේ තිබූ තියුණු ආයුධයක් ගෙන කාන්තාවගේ උදරයට ඇන මෙසේ බරපතළ තුවාල සිදුකර තිබිණි.
සිද්ධියෙන් පසුව අසල්වාසීන් එක්ව තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්ත්වය බරපතළ බැවින් එම අවස්ථාවේදීම ශල්‍යකර්මයක් සඳහා යොමුකළ බව රෝහල් ප්‍රකාශකයා පැවසීය. මේ සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහල් පොලිසිය මගින් හෝමාගම මූලස්ථාන පොලිසියට දැනුම්දීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියේය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments