horana-magestrate-huniyam

හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා හූනියමක් කර හෝ ඝාතනය කිරීමට කපුවකුට  කොන්ත්‍රාත්තුවක් දුන් බව කියන නීතිඥවරයකු  සම්බන්ධයෙන්  හොරණ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම නීතිඥවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ සිටිය දී හඳුනාගත් කපුවකුට කොන්ත්‍රාත්තුව දී ඇති බව පොලිසිය පවසයි.  මේ සම්බන්ධයෙන් කපුවා විසින් හොරණ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කළ බවද පොලිසිය කියයි.



මුදල් වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි  කපුවා ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා ඇප ලබා ගැනීමෙන් පසුව අදාළ නීතිඥවරයාගේ දැනුම් දීමකට අනුව ඔහුගේ නිවසට ගොස් ඇති අතර, එහිදී සතියක පමණ කාලයක් එහි ගතකරමින් සිටිය දී මේ සම්බන්ධයෙන් පවසා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.  ‘හොරණ නඩුකාරයා එක්ක මට වෛරයක් තියෙනවා. ඕකට හුනියමක් කරලා කටුගහල මරන්න ඕනි.' යැයි පවසා ඇති නීතිඥවරයා හුනියම් කිරීමට අවශ්‍ය කළමනා ආදිය ගෙනත් දී ඇති බවත්, එහිදී හූනියම් කිරීමට නම් නමක් අවශ්‍ය බැවින් නම කුමක්දැයි තමන් ඇසූ බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි  වාර්තා වේ.



එහිදී එම නීතිඥවරයා හොරණ මහේස්ත්‍රාත්වරයාගේ නම සඳහන් කර ඇති අතර එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව තමන්ට ගුරුකම් කිරීමට නොහැකි බව පවසා ඇති පැමිණිලිකරු එම නිවසින් පිටව ගොස් ඇති බවත් පසුව පොලිසියට පැමිණ පැමිණිලි කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා උපදෙස් සඳහා එම ගොනුව පොලිසියේ නීති කොට්ඨාසයට යොමුකර ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 නිමන්ති රණසිංහ