indian-diabates-strips

ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය මගින් නතර කර තිබියදීත් නැවත ඒවා මිලදී ගැනීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක අවශ්‍ය තරම් වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබියදීත් ප්‍රමිතියෙන් තොර පටි සහ මාපක මිලදී ගැනීම පිටුපස මහාපරිමාණ මූල්‍ය වංචාවක් තිබෙන බවට සැක කරන බවද එම ආරංචි මාර්ග  කියයි.

ඉන්දියානු සමාගමකින් ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර අවස්ථා කීපයක දී උත්සාහ ගත් අතර ඒ පිළිබඳව විවිධ පිරිස් චෝදනා කිරීම නිසා ජනාධිපති කාර්යාලය මැදිහත් වී පරීක්ෂණයක් පවත්වා ඒවා මිලදී ගැනීම නතර කර තිබිණි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 38ක පමණ මුදලක් වැයකර ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර සූදානම් වූයේ ඖෂධ අධිකාරියේ ලියාපදිංචියක්වත් ලබාගෙන නොමැති  සමාගමකිනි. දියවැඩියා පරීක්ෂණ පටියක් රුපියල් 15ක් වැනි මිලකට මිලදී ගැනීමට හැකි වුවත් ප්‍රමිතියෙන් තොර පරීක්ෂණ පටියක් එවර රුපියල් 85 ක් වැනි වැඩි මිකට මිලදී ගැනීමට සැලසුම් කර තිබිණි. කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙවර එම පටි සහ මාපක මිලදී ගැනීමට තාවකාලික අවසරයක් ලබාදී ඇතැයි ද කියති. වෛද්‍ය සැපයීම් අංශයට ඉකුත් දිනවල ටෙන්ඩර් පටිපාටිය යටතේ දියවැඩියා පරීක්ෂණ පටි ලක්ෂ 10ක් සහ මාපක 5000ක් ලබාගෙන ඇති අතර මේ වන විට ඒවායේ හිඟයක් නැති බව ද පැවසේ.
රංජන් කස්තුරි